ස්වර්ණාභරණ නිෂ්පාදකයෙකුගේ මිලිද්දුව ප්‍රදේශයේ නිවසට දිවා කාලයේ ඇතුළුවී රුපියල් පන් ලක්ෂයකට අධික රිදී භාණ්ඩ තොගයක් සහ වාලම්පුරි තුනක් සොකරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් සිවු දෙනෙකු ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ ලියන කංකානම්ගේ සඳුන් ලක්මාල්, වේවැල්වල හේවගේ චමින්ද කුමාර, දාඹුර ලියනගේ ජයන්ත සඳරුවන්, රුහුණ හේවගේ රංජක සුරන්ජිත් යන සැකකරුවෝ සිවු දෙනායි.
සැකකරුවන් මීට පෙර ගාල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී එකිනෙකා හඳුනාගෙන එයින් නිදහස්ව පැමිණ මෙම කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය පවසයි.