රත්මලාන ඥානේන්ද්‍රාරාම පාරේ නිවෙසකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව වෙඩික්කරුවන්ට කාර් රථය ලබා දුන් බව කියන පාතාල කල්ලි නායක ධනුරුද්ධගේ ප්‍රධාන ගෝලයා හෙරොයින් සමඟ මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා (14) මාවනැල්ල පොලිස් වසමේ දොඹගොල්ලවත්ත, බටවල හිඟුල ලිපිනයේ පිහිටි කුලී නිෙවසක් වටලා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. මෙම සැකකරු පසුගිය 10 දින රත්මලාන ඥානේන්ද්‍රාරාම පාරේ නිවෙසකට වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ට මෝටර් රථය ලබා දුන් පුද්ගලයා බව අනාවරණය වී ඇත. මෙම සැකකරු කුලී පදනම මත කාර් රථ ලබාදෙන ස්ථානයකින් කාරය ලබාගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මෙම සැකකරු යටිගම්මන, මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 600ක් හා ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මොහු මැලේසියාවේ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධනුරුද්ධ නැමැති අයෙකු සමඟ සම්බන්ධ වී ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බවත්, මොහු දෛනිකව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් පමණ ප්‍රමාණයක් අලෙවි කරන බවත් අනාවරණය විය.
මොහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී ධනුරුද්ධ නැමැත්තා විසින් ලබාදුන් උපදෙස් අනුව ඉකුත් 04දා මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන වෙඩික්කරුවන් වෙත භාර දී ඇතැයි හෙළි වී ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ අත්අඩංගුට ගත් දේපළ මාවනැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.