Wednesday, April 9, 2025
Home » රඹු­ක්ක­නදී මරා වළ­ දමා තිබුණු තරු­ණ­යන් දෙදෙ­නාගේ සිරුරු මාස අට­කට පසු මවු­පි­යන්ට භාර දෙති

රඹු­ක්ක­නදී මරා වළ­ දමා තිබුණු තරු­ණ­යන් දෙදෙ­නාගේ සිරුරු මාස අට­කට පසු මවු­පි­යන්ට භාර දෙති

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නි‍ෙවසක දී පහරදී ඝාතනය කොට නි‍ෙවස පිටුපස වළදමා තිබී මීට මාස අටකට පෙර සොයාගන්නා ලද මෘතදේහ දෙකේ ඩීඑන්ඒ වාර්තා සංසන්දනයවීමෙන් පසු ඥාතීන්ට පෙරේදා (14 වැනිදා) භාරදුන් බව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවැසීය.

මෙලෙස ඝාතනය කොට තිබුණේ මාවනැල්ල කෙරමිණියවත්තේ අංක 119 ලිපිනයේ පදිංචිව සිටි 28 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මාවනැල්ල කිරිංගදෙණිය අංක 108/3 ලිපිනයේ පදිංචිව සිටි 28 හැවිරිදි මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්පත් යන තරුණයන් දෙදෙනාය.

ඝාතනයට ලක්ව ඇති තරුණයන් දෙදෙනා 2022 නොවැම්බර් මස 17 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි පවසා ඔවුන්ගේ ඥාතීන් මාවනැල්ල පොලිසියට නොවැම්බර් 25 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. මෙම පැමිණිල්ලට අනුව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දීර්ඝ කාලීනව විමර්ශනයක් සිදු කළ අතර, අනතුරුව තරුණයන් දෙදෙනා රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නි‍ෙවසකදී පහරදී වධහිංසා පමුණුවා ඝාතනය කොට රහසිගත ලෙස වළදමා ඇති බවට තොරතුරක් අනාවරණය කර තිබුණි. ඒ ඉකුත් ජනවාරි 05 වැනිදාය.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ජනවාරි 11 වැනිදා කරුණු වාර්තා කොට කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් ජනවාරි 12 සහ 13 වැනිදා මෘතදේහ දෙක ගොඩගනු ලැබුණි.

පසුව මෘතදේහ දෙක කෑගල්ල මහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කෙරිණ. තැන්පත් කරන ලද මෘතශරීර දෙක අතුරුදන්ව සිටි තරුණයන්ගේ ඥාතීන්ට හඳුනා ගැනීමට යොමු කළ ද එහිදී එක් තරුණයකුගේ දේහය ඥාතීන් විසින් හඳුනා ගැනුණු අතර, සෙසු මෘතදේහය ඥාතීන් හඳුනා ගැනීමට නොහැකි බව පැවසීය. පසුව මෘතදේහ දෙකේ ශරීර කොටස් ඩීඑන්ඒ පරීක්ෂණයට යොමු කෙරිණ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් මෘතදේහ දෙක වළදමා තිබුණු නි‍ෙවසේ හිමිකරු වන මොහොමඩ් නිසාර් මොහොමඩ් පර්හාන්, මොහොමඩ් රාසික් මොහොමඩ් රිකාෂ්, අබ්දුල් ලතිෆ් මොහොමඩ් ෆාහිම්, මොහොමඩ් රියාල් මොහොමඩ් රිස්වි, ෆාරුක් මුසාෆ් මොහොමඩ් පර්ශද පටබැඳිගේ සජිත් මදුමාල් නොහොත් මදුමාල් කරුණාසේන යන හය දෙනා පුත්තලම නූර් පල්ලිය පාරේ පදිංචිව සිටියදී ජනවාරි 19 වැනිදා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් හය දෙනා මාස අටකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් 01 වැනිදා කෑගල්ල මහාධිකරණය මඟින් නිකුත් කර තිබුණු ඇප කොන්දේසි සපුරාදීමෙන් පසුව නිදහස් කෙරිණ.

ඝාතනයට ලක්ව තිබුණු තරුණයන් දෙදෙනාගෙන් ලබා ගන්නා ලද ශරීර කොටස්වල රස පරීක්ෂක වාර්තා ඉකුත්දා කෑගල්ල පොලිසියට ලැබී තිබුණු අතර, අතුරුදන්ව ඇතැයි පවසා පැමිණිලි කර තිබුණු පැමිණිලිකරුවන්ගෙ දරුවන් බවට සනාථ කර තිබුණි.මාස අටකට ආසන්න කාලයක් කෑගල්ල මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබුණු මෘතදේහ දෙක පසුව පෙරේදා 14 වැනිදා අදාළ ඥාතීන්ට භාරදීම සිදු කළ බව පොලිසිය පැවසීය.

පසුව ඥාතීන් දේහ දෙක භාරගෙන මාවනැල්ලට රැගෙන ගොස් මිහිදන් කෙරිණ.සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාශයේ උප පොලිස් පරීක්ෂක විජේරත්න නිලධාරියා විමර්ශන කටයුතු සිදු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT