මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවාගැනෙන ශ්‍රී ලාංකික පුහුණු සේවකයන් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා ඇමැති ලී ජුංග්සික් මහතා පැවසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූත පිරිසක් අතර (14) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා හිමි වන බවද ඒ මහතා සඳහන් කළේය. සෞඛ්‍යය, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ තොරතුරු තාක්‍ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහායටත්, කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළටත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ස්තුතිය පළ කළේය. තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා තවදුරටත් කොරියානු රජයේ සහාය බලාපොරොත්තු වන බවද අගමැතිවරයා සඳහන් කළේය.
එම යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සළකා බලන බව සඳහන් කළ කම්කරු ඇමැති ලී ජුන්ග්සික් මහතා මෙම ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී කොරියානු භාෂාව උගන්වන ශ්‍රී ලංකාවේ ආයතන සහ විශ්වවිද්‍යාල නැරඹීමේ අදහසක් තමන්ට ඇති බව කියා සිටියේය.