Wednesday, April 9, 2025
Home » වියපත් ත්‍රිරෝද රථ රියැදුරකුගේ මුදල් හා රථය පැහැර ගත් අය මාට්ටු

වියපත් ත්‍රිරෝද රථ රියැදුරකුගේ මුදල් හා රථය පැහැර ගත් අය මාට්ටු

by mahesh
September 15, 2023 1:00 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

පිහියක් පෙන්වා වියපත් ත්‍රිරෝද රථ රියැදුරෙකු බිය කර ඔහු සතු මුදල් හා ත්‍රිරෝද රථය පැහැර ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු 13දා පිළියන්දල, මාම්පේ, විශ්වකලාවත්තේ දී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි.

මඩපාත, මාකන්දන, සුදර්ශන මාවත, දහම් මාවත, 192/2 ලිපිනයේ පදිංචි 72 හැවිරිදි රියැදුරෙකු පසුගිය 12දා රාත්‍රියේ කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කර තිබේ.

මෙම පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් කොළඹ ප්‍රදේශයට ගොස් ආපසු එන අතර කොට්ටාව කලර් ලයිට් එක අසල වාහනය නතර කර තිබියදී එකවර දුවගෙන පැමිණ ත්‍රිරෝද රථයට ගොඩවුණු මෙම සැකකරුවන් තිදෙනා කුලී ගමනක් යාමට කතා කර ඇති අතර, ඔහු ගෙදර යන බව පවසා එයට අකමැති වූ විට බෙල්ලට කුඩා පිහියක් තබා බිය කර කැස්බෑවේදී ආවාස පාරට හරවන ලෙස තර්ජනය කර රැගෙන ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එහිදී ඔහු සතු රුපියල් 1400ක් හා ත්‍රිරෝද රථය පැහැරගෙන රියැදුරු මඟ දමා සැකකරුවන් පලා ගොස් ඇති අතර, ඔහු එවෙලේම පොලිසියට දුරකතන ඇමතුමක් ගෙන සිද්ධිය දැනුම් දී තිබේ.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය ත්‍රිරෝද රථය යාබද මාර්ගයේ දමා ගොස් තිබියදී සොයා ගත් අතර සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ පිහිය ද සොයා ගෙන තිබේ.

අනෙක් සැකකරු සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

සැකකරුවන් මාම්පේ, විශ්වකලා වත්තේ පදිංචි අවු 39 හා 46 වයස්වල පසුවෙන දෙදෙනෙකි. කැස්බෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විරවර්ධන, සැරයන් (75769) ජයතුංග, කොස්තාපල් (93746) බාලකුමාර් යන නිලධාරින් මේ පිළිබඳ විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT