හොරණ අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඉංගිරිය සුමනජෝති ප්‍රාථමික විදුහලේ වැඩ භාරගැනීමට පැමිණ ඉකුත් අඟහරුවාදා (12) මහජන විරෝධය හමුවේ පාසලට ඇතුළුවීමට අවස්ථාව නොලද එහි අභිනව විදුහල්පතිනිය, ඊයේ (14) දින විරෝධතාවයේ නිරත වූ පිරිස ද ඇතුළුව මවුපියන් විසින් නැවත මහත් හරසරින් පිළිගෙන විදුහල්පති ධුරයෙහි ඇයට නිල වශයෙන් වැඩ භාරගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
ඒ අනුව සුමනජෝති විදුහලේ හිටපු විදුහල්පති වයි. එස්. සිසිර කුමාර මහතාගේ හදිසි අභාවයෙන් අනතුරුව පුරප්පාඩු වූ විදුහල්පති තනතුරෙහි වැඩ භාරගැනීමට නව විදුහල්පතිනිය වශයෙන් පැමිණි ආර්. පී. අයි. රණවීර මහත්මියට පාසල ඉදිරිපිටදී දෙමාපියන් පිරිසක් විසින් මෙම විරෝධය එල්ල වූ අතර, ඇයට සිය අකමැත්ත පළ කරමින් විරෝධතාවයෙහි නියුතු වූ පිරිස් පාලනයට ඉංගිරිය පොලිසියට ද මැදිහත්වීමට සිදුවිය.
රණවීර මහත්මිය මින් පෙර සේවය කළ මානාන ඥානරතන විදුහල බාහිර ක්‍රියාකාරකම් සහ අධ්‍යාපනික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති බවත්, ඊට ඇයගේ පාලනය ඉවහල් වූ බවත් ආදී විවිධාකාර චෝදනා රැසක් නඟමින් නව විදුහල්පතිනියට පාසලට ඇතුළුවීමට විරෝධතාකරුවන් අවසර ලබානොදීමත් සමඟ ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය හමුවේ, විදුහල්පතිනිය සහ විරෝධතාවයේ යෙදුණු පිරිසෙහි නියෝජිතයින් කිහිප දෙනෙක් ගැටලුව සඳහා නීතියේ පිහිට පැතීමට ඉංගිරිය පොලිසියට පැමිණියහ.
එහිදී තමන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් විදුහල්පතිනිය විසින් අනෙක් පාර්ශ්වයෙන් ඍජුව විමසා සිටි බවත්, පැහැදිලි සාක්ෂියකින් තොරව එම චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වූ බවත්, අවසානයේදී පොලිසියේ මැදිහත්වීම මත දෙපාර්ශ්වය අතර, සිදුකෙරුණු සුහද සාකච්ඡාවකින් පසු ගැටලුව ඔඩු දිවීමකින් තොරව සාර්ථක ලෙස විසඳා ගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසා සිටී.
පසුව එදිනම සියලු දෙමාපියන් පාසලට රැස්කර විරෝධතාවයේ නිරත වූ පිරිස් ද ඇතුළුව පාසල් විධායක කමිටුවේ මූලිකත්වයෙන් සිදුකළ සාකච්ඡාවකින් පසු නැකැත් දිනයක් වූ ඊයේ (14) දින රණවීර මහත්මිය පාසලට කැඳවා ඇය උත්සවාකාරයෙන් පිළිගෙන සුමනජෝති විදුහලේ නව විදුහල්පතිනිය වශයෙන් නිල වශයෙන් වැඩ භාරගැනීමට ඇයට අවස්ථාව ලබාදීම සිදුවිය.