ටීවී සහ රේඩියෝ චැනල්වලින් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මඟින් ලබාදුන් වාර්තාවක් පාර්ලිමේන්තුවේ තිබෙන බවත් ඒ පිළිබඳ සෑහීමකට නොහැකි නම් කළ යුත්තේ ත්‍රස්තවාදීන්, අන්තවාදීන් ගැන පරික්ෂණ සිදුකරන ලෝකයේ තිබෙන රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන පරික්ෂණයක් කිරීම බවත් හෙතෙම කීවේය.
රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එසේ නොමැතිව මැතිවරණයක් ආසන්න වන විට මෙම කාරණය එළියට දමමින් දේශපාලනීකරණය කිරීමට ඇතැම් පිරිසක් උත්සහ ගනිමින් සිටින බව ඒ මහතා පැවැසීය.
එම නිසා නිවැරැදිව පරික්ෂණ කරන රාජ්‍ය ආයතනවලට එම පරික්ෂණ සිදුකිරීමට සහය ලබා දෙන්න සූදානම් බවද රාජපක්ෂ මහතා කීවේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා,අගමැතිවරයා කාලයේ දී පවා පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් පත් කර තිබුණා මේ පිළිබඳ සොයා බලන්න. එම කමිටුවේ සරත් ෆොන්සේකා මහතා වගේම සුමන්දිරන් මහතාත් සමාජිකයන් විදිහට ඉදලා තිබෙනවා. එම වාර්තාවන් පාර්ලිමේන්තුවේ තිබෙනවා. මේ වාර්තා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට සෑහීමකට පත් වෙන්න බැරිනම්, රාජ්‍ය නොවන සංවිධාන ටීවී රේඩියෝ චැනල් ගෙන්නලා පරීක්ෂණ කරනවා වෙනුවට කළ යුත්තේ ලෝකයේ ත්‍රස්තවාදීන් , අන්තවාදීන් ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙලා පරීක්ෂණයක් කිරීම. විශේෂයෙන්ම ඉන්දියාව එංගලන්තය හා ඇමරිකාව වගේ රටවල එවැනි රාජ්‍ය ආයතන තිබෙනවා. නැත්නම් හැමදාම මැතිවරණයක් ළංවන වෙලාවට මේක එලියට එනවා. ඊට පස්සේ යට යනවා. අපිට මේක දේශපාලන කාරණයක් කරගන්න බැහැ.
නුවන් කොඩිකාර