Sunday, April 20, 2025
Home » ශ්‍රී ලංකාව යථාතත්වයට පත් වෙමින් තිබෙනවා – විදේශ ඇමැති

ශ්‍රී ලංකාව යථාතත්වයට පත් වෙමින් තිබෙනවා – විදේශ ඇමැති

by chanaka
September 15, 2023 10:53 am 0 comment

විවිධ අභියෝගයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට යථාතත්වයට පත් වෙමින් තිබෙන බව විදේශ ඇමැති, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවැසීය.

ආසියා පැසිෆික් බාලදක්ෂ වර්ධන සම්බන්ධීකාරකවරුන්ගේ රැස්වීම ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ම රට සාමාන්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳ හොඳ සාක්ෂියක් බව හෙතෙම කීවේය.

ආසියා ශාන්තිකර කලාපීය බාලදක්ෂ වර්ධන සම්බන්ධීකාරක හමුවේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතඅමුත්තා ලෙස පසුගියදා (13) එක්වෙමින් විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
විවිධ ස්ථානවල සිටින බාලදක්ෂයන් එකට එක්කරමින් මෙවැනි වැඩසටහන් පැවැත්වීම ගැන සිය ප්‍රශංසාව පුදකර සිටින බවද ඒ මහතා කියා සිටියේය.

පසුගිය වසර තුන තුළ ඇති වූ විවිධ ගැටලු නිසා ආර්ථික ප්‍රශ්න ඇති වූ බව පැවැසූ ඇමැතිවරයා එහෙත් මේ වන විට එම අභියෝගයන් ජයගනිමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පැවැසීය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පවත්වන ලද ජාත්‍යන්තර රැස්වීමකට විදේශ ඇමැතිවරයාගේ පැමිණීම අගය කරනවා. ශක්තිමත් සාමාජික වර්ධනයක් තිබෙන නිසා මේ හමුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හේතු වුණා. මේ වන විට ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ තුළ සමාජික සංඛ්‍යාව 115000 දක්වා ළඟා කර ගැනීමට හැකිව තිබෙනවා. බාලදක්ෂ ක්‍රියාකාරකම් සඳහා රජයෙන් ලැබෙන සහයෝගය අප මෙහිදි අගය කරනවා.
බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝක සංවිධානයේ ආසියා ශාන්තිකර සාම ආධාර මධ්‍යස්ථානයේ ආයතනික සංවර්ධන සහ අධ්‍යක්ෂ එස්.ප්‍රසන්න ශ්‍රීවාස්තවා, මූලස්ථාන බාලදක්ෂ කොමසාරිස් සහ වැඩමුළු අධ්‍යක්ෂ නීතිඥ සමින්ද ජයසේකර මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

ආසියා පැසිෆික් කලාපයේ රටවල් දාහතරක වර්ධන සම්බන්ධීකාරකවරුන් මෙම රැස්වීමට එක්ව සිටින අතර එළැඹෙන 17 වැනිදා දක්වා පැවැත්වේ.

මේ අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් එම්.එෆ්.එස් මූහීඩ්, හිටපු ප්‍රධාන කොමසාරිස්, මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහත්වරුන් ඇතුලු දෙස් විදෙස් බාලදක්ෂ නායකයන් රැසක් එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT