පළාත් සභා ක්‍රියාත්මක නොවන මේ කාල සීමාවේදී පළාත් සභාවලට දෙන මුදල් විනිවිද අයුරින් පරිහරණය කිරීම මෙන්ම මුදල් වෙන් කිරීමේ කටයුතු ද විනිවිදභාවයෙන් යුතුව සිදුකරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් දී ඇත.
2024 වර්ෂයේදී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් පළාත් සභාවලට රුපියල් බිලියන 16.6ක මුදලක් වෙන් කර ඇති බව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මුදල් කොමිෂන් සභාව අනාවරණය කර ඇත.
පළාත් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට ගොඩනැඟිය යුතු බව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එබැවින් ඒවායේ දියුණුවට පවතින බාධා හඳුනාගෙන ඉදිරිපත් කිරීමේ වගකීමක් මුදල් කොමිෂන් සභාව සතුව පවතින බව සභාපතිවරයා පැවසීය.
පළාත් සභා ක්‍රියාත්මක නොවන කාලසීමාවේදී පළාත් සභා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම වැඩි කර තිබෙන බව මුදල් කොමිෂන් සභා නිලධාරීහු මෙහිදී පැවසූහ.
කාරක සභාව වෙත පැමිණි පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවේ අදහස් දැක්වූ සභාපතිවරයා, පොලිසිය තවදුරටත් ජනතා මිත්‍රශීලි ආයතනයක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. ඒ අනුව පොලිසිය දේශපාලනඥයන්ගෙන් වෙන්ව තැබිය යුතු බව සභාපතිවරයා අවධාරණය කළේය. මෙහිදී පොලිස් කොමිෂන් සභා නිලධාරීන් තම සේවා කටයුතු කිරීමේදී මුහුණ දී සිටින දැඩි මානව සම්පත් හිඟය ගැන සභාපතිවරයාගේ අවධානය යොමු කළේය. ඒ අනුව දැනට පොලිස් කොමිෂන් සභාවේ ප්‍රගතිය ගැන වාර්තාවක් සකස් කරන ලෙසත් එම වාර්තාවට පවතින අභියෝග හා ගැටලු පිළිබඳව ද ඇතුළත් කර කමිටුවට භාර දෙන ලෙසත් සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතිඥ) ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, චමින්ද විජේසිරි, මොහමඩ් මුසම්මිල්, රෝහණ බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.