Wednesday, April 9, 2025
Home » රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය අති උත්කර්ෂවත්ව

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය අති උත්කර්ෂවත්ව

වියදම් කළමනාකරණය කරමින් සාහිත්‍යවේදීන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන සේ සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබෙනවා - සංස්කෘතික අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන

by mahesh
September 15, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න සහ තක්ෂිලා උදයංගනී, ඡායාරූප නිශ්ශංක විජේරත්න

විවිධ කෘති 42කට සම්මාන

–  ජීවිතයේ එක්වරක් හිමි වන සාහිත්‍ය රත්න සම්මානය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය ජී.එච්. පීරිස් හා කේ.  ශට්ටනාදන්ට
– හොඳම සිංහල නවකතාව නෝබට් අයගමගේ රචනා කළ කුර හ‍ඬෙකි වියැකෙන 
– හොඳම සිංහල කෙටි කතා සංග්‍රහය එරික් ඉලයප්ආරච්චිගේ සූර්ය ක්ලාන්තය සහ අනාථ කතා
– හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය කසුන් සමරතුංගගේ ජාජා ඩීං 
– හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතිය වජිර නලින්ද ජයතිලකගේ නව කැලණි විහාර සිතුවම්
– හොඳම පිටකවරය පවන් අංජනගේ අතිශය අභ්‍යන්තර පරීක්ෂණ
– හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහය ලක්ශාන්ත අතුකෝරලගේ හැඟුම් ගඟෙහි හැංගිලා
– වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළ ආයතනයට පිරිනැමෙන සම්මානය අඛණ්ඩව 38 වැනි වරටත් එස්. ගොඩගේ සහ සහෝදරයෝ අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේට

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය – 2023 ඊයේ (14) පස්වරුවේ මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී 2022 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද සිංහල, ඉංග්‍රීසි හා දමිළ මාධ්‍ය කෘති සඳහා සම්මාන ප්‍රදානය සිදු විය. මෙවර හොඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතියට ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ කෘති නොතිබිණි.

මෙහිදී අදහස් දක්වමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා යසින්තා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ 65 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මෙවරත් සාර්ථකව පවත්වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකවරිය:

“1957 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රථම සාහිත්‍ය සමුළුව පවත්වන ලදී. මෙය අප දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රධාන රාජ්‍ය සම්මාන උත්සවය ලෙස සලකන්න පුළුවන්. සාහිත්‍යවේදීන්ට උපරිම ගෞරවය ලැබෙන ලෙසත් උත්සවයේ අභිමානය ලැබෙන ලෙසත් කලාවේ තොටිල්ල බඳු වූ එල්ෆින්ස්ටන් රඟහලේදී මෙරවර උත්සවය පැවැත්වෙනවා. වියදම් කළමනාකරණය කරමින් සාහිත්‍යවේදීන්ට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන සේ සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබෙනවා.

“ඉතිහාසයේ ප්‍රථම වරට නිර්දේශිත ග්‍රන්ථ සඳහා ද මෙවර මූල්‍ය ත්‍යාග පිරිනැමෙනවා. සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ග්‍රන්ථ 2113ක් මෙවර අප වෙත ලැබුණ අතර, අදියර තුනක් යටතේ සමීක්ෂණ සිදු කරමින් ඉතා විශිෂ්ට කෘති රැසක් අතුරෙන් විවිධ විෂය ක්ෂේත්‍ර යටතේ ග්‍රන්ථ 42ක් සඳහා මෙවර සම්මාන පිරිනමනවා. ඒ වගේම සෑම වරකම විශිෂ්ට භාෂා සාහිත්‍ය සේවාවක් ඉටුකළ කෘතහස්ත සාහිත්‍යවේදීන් තිදෙනෙක් ඇගැයීමට ලක් වෙනවා. සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළ සාහිත්‍ය සේවාව උදෙසා එම ඇගැයීම අප සිදු කරනවා. ඒ අනුව ජීවිතයේ එක්වරක් හිමිවන සාහිත්‍ය රත්න සම්මානයෙන් මෙවර බුහුමන් ලබන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය ජී.එච්. පීරිස්, කේ. ශට්ටනාදන් මහත්වරුන්ට අප මේ අවස්ථාවේ ශුභාශිංෂන පිරිනමනවා. රටක සංවර්ධනය මානව සංවර්ධනයයි. එම මානව සංවර්ධනයට භාෂාව, සාහිත්‍ය මඟින් ලැබෙන දායකත්වය සුවිශේෂී වෙනවා. ඒ අනුව අද දින සම්මාන ලබන්නන් මානව සංවර්ධනය සඳහා මහා මෙහෙවරක් කර තිබෙනවා. මෙම සම්මාන ප්‍රදානොත්සවය සඳහා උපදේශකත්වය ලබාදෙමින් ඉතා කැපවීමෙන් ක්‍රියා කළ රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේටත් උපදේශක සභාවේ විද්වතුන් සැමටත් ස්තූතිය පිරිනමනවා.“

මෙම උත්සවය සාර්ථක කර ගැනීමට ඇමැති විදුර වික්‍රමනායක, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහත්වරුන්ගෙන් ලැබූ මඟ පෙන්වීම උත්සවයේ වර්ණවත් භාවයට හේතු වූ බව ද මෙහිදී සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය පැවැසුවාය.

මෙවර පැවැත්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී සාහිත්‍යරත්න සම්මානය සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර (සිංහල මාධ්‍ය), මහාචාර්ය ජෙරල්ඩ් හර්බට් පීරිස් (ඉංග්‍රීසි මාධ්‍ය), කේ. ශට්ටනාදන් (දමිළ මාධ්‍ය) මහත්වරුන්ට පිරිනැමිණි. එමෙන්ම ස්වතන්ත්‍ර හොඳම සිංහල නවකතාව ලෙස නෝබට් අයගමගේ විසින් රචිත ‘කුර හ‍ඬෙකි වියැකෙන‘ නවකතාවට හිමි විය. එම කෘතිය සඳහා මෙවර ස්වර්ණ පුස්තක සම්මානයද හිමි වීම විශේෂත්වයකි. හොඳම දමිළ නවකතාවට හිමි සම්මානය එම්.එම්. නව්සාඩ්ගේ ‘කජීදා බේගම්ගේ සාමාන්‍ය ජීවිතය‘ වෙත හිමි වූ අතර, හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය මනූක විජේසිංහගේ LIKE MOTHS TO A FLAME හට හිමි විය. ‘සූර්ය ක්ලාන්තය සහ අනාථ කතා‘ කෘතිය රචනා කළ එරික් ඉලයප්ආරච්චි හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහයට (සිංහල) හිමි සම්මානය දිනා ගන්නා ලදී. හොඳම ස්වතන්ත්‍ර ඉංග්‍රීසි නවකතාව ලෙස සිආරා මන්දුලී මෙන්ඩිස්ගේ THE LANKA BOX කෘතිය සම්මාන දිනා ගන්නා ලදි.

හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථයට හිමි සම්මානය ‘නව කැලණි විහාර සිතුවම්‘ කෘතිය රචනා කළ වජිර නලින්ද ජයතිලක ද හැඟුම් ගඟෙහි හැංගිලා කෘතිය රචනා කළ ලක්ශාන්ත අතුකෝරල හොඳම ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය ද, ඇන්ටික් කඩයක මරණයක් කෘතිය රචනා කළ අශෝක හඳගම හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතියට හිමි සම්මානය ද, ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව කෘතිය රචනා කළ පී.බී. ගලහිටියාව හා ලියනගේ අමරකීර්ති හොඳම පරිවර්තනීය ශාස්ත්‍රීය ග්‍රන්ථයට හිමි සම්මානය ද, කලාව සොයායාම කෘතිය රචනා කළ එරික් ඉලයප්ආරච්චි මානව ශාස්ත්‍ර විවිධ විෂයක ග්‍රන්ථය සඳහා සම්මානය ද, විශ්වවිද්‍යාලය යනු කුමක්ද කෘතිය රචනා කළ ලියනගේ අමරකීර්ති සමාජ ශාස්ත්‍ර හොඳම විවිධ විෂයක ග්‍රන්ථය සඳහා සම්මානය ද, කලාවේ තේරුම කුමක්ද කෘතිය රචනා කළ සේනාරත්න වීරසිංහ පරිවර්තික හොඳම විවිධ විෂයක ග්‍රන්ථය සඳහා සම්මානය ද, මාක් ට්වෙන් හකල්බරි ෆන් කෘතිය රචනා කළ රාණි සේනාරත්න රාජපක්ෂ හොඳම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය ද, මුහුමලේ සුළඟෙ කෘතිය රචනා කළ ජී.ජී. සරත් ආනන්ද හොඳම පරිවර්තිත කෙටිකතා සංග්‍රයහට හිමි සම්මානය ද, තුටින් පිරී ගිය එක් මොහොතක් කෘතිය රචනා කළ සසංක පෙරේරා සහ ඉන්දු ගමගේ හොඳම පරිවර්තිත පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය ද, බැද්දේ සිළිඳු කෘතිය රචනා කළ විත්‍රා ජයතිලක හොඳම පරිවර්තිත නාට්‍ය කෘතියට හිමි සම්මානය ද මෙහිදී ලබා ගත්හ.

ඕස් දේශයේ අපූරු මායාකරු කෘතිය රචනා කළ ප්‍රමෝදි නිල්වලා හේවාවිතාරණ හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය ද, ජාජා ඩිං කෘතිය රචනා කළ කසුන් සමරතුංග හොඳම යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය ද, සක්වළ චක්‍රය කෘතිය රචනා කළ දිනේෂ් ගුණතිලක සමරවික්‍රම හොඳම විද්‍යා සාහිත්‍ය කෘතියට හිමි සම්මානය ද, සඳ තරු නෑයෝ කෘතිය රචනා කළ සංජය වික්‍රමාරච්චි හොඳම ළමා සාහිත්‍ය කෘතිය දෙවැනි කාණ්ඩයට හිමි සම්මානය ද, බක බක බක කතන්දරේ රචනා කළ ශෝභා පීරිස් හොඳම ළමා සාහිත්‍ය කෘතිය පළමුවැනි කාණ්ඩයේ සම්මානය ද, ජෙගන් ගනේෂන් විසින් රචනා කරන ලද අතිශය අභ්‍යන්තර පරීක්ෂණය කෘතියේ පිටකවරය නිර්මාණය කළ පවන් අංජන හොඳම පිටකවරය නිර්මාණය සඳහා සම්මානය ද මෙහිදී දිනා ගත්හ.

2022 වර්ෂයේ ප්‍රකාශිත ග්‍රන්ථ අතුරින් රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළ ආයතනයට පිරිනැමෙන සම්මානය 38 වන වතාවටත් අඛණ්ඩව මෙවරද හිමි කර ගත්තේ එස්. ගොඩගේ සහ සහෝදරයෝ ආයතනය විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT