හලාවත ප්‍රදේශයේ පිහිටා ඇති ඉස්සන් කොටුවලින් ඉවත් කරන අපජලය හා හලාවත මහ රෝහලෙන් ඉවත දමන සායන අපද්‍රව්‍ය නිසා හලාවත කලපුව දැඩි ලෙස අපිරිසුදු වී මත්ස්‍ය සම්පතද විනාශ වෙමින් පවතින බව හලාවත ප්‍රදේශයේ ධීවර සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
ධීවර සංවිධාන නියෝජිතයන් පසුගියදා(11) ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා හමු වූ අවස්ථාවේ මේ පිළිබඳව ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
මීට මාස දෙකකට පෙර ධීවර ඇමැතිවරයා එම ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී මේ බැව් දැක කලපුව පිරිසුදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නද තවමත් එය ක්‍රියාත්මක කර නැති බවත් එම නියෝජිතයෝ මෙහිදී ඇමැතිවරයාට පැවසූහ.
චීන රජයෙන් ධීවරයන්ට ලබා දුන් භූමිතෙල් ඉන්ධන තම ප්‍රදේශයේ ධීවරයන්ට ලබා දී නැති බව ධීවර නියෝජිත පිරිස පෙන්වා දුන් අතර හලාවත ප්‍රදේශයේ ඇතැම් මාදැල්කරුවන් නීති විරෝධී ආකාරයට වින්ච් ක්‍රමය මඟින් වෙරළට හානිවන ආකාරයෙන් මාදැල් එළීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස ද ඔවුහු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එක්ස්ප්‍රස් පර්ල් නෞකා හානිය නිසා පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට නෞකාවේ රක්ෂණ සමාගමෙන් ලැබුණු වන්දි මුදල් ලබා දෙන ලෙස ද මේ නියෝජිතයෝ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.
මෙහිදී කරුණු දැක්වූ ඇමැති දේවානන්ද, පැවසුවේ හලාවත කලාපයේ ඉස්සන් ගොවිපොළ 237ක් තිබෙන බවත්, මේවායින් සිදුවන අපජලය කලපුවට බැහැර කිරීම ගැන තත්ත්වය සොයාබැලීමට කමිටුවක් පත්කර ඇති බවත්ය.
ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක,ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්ම මහත්මීන් ද, නැක්ඩා හා නාරා ආයතනයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.