(කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරයේ වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය ඊයේ (14) ආරම්භ විය.පෙරහර මංගල්‍යය 17 වැනි දින දක්වා පැවැත්වෙන අතර මේ ලිපිය ඒ නිමිත්තෙනි.)
අනුරාධපුර යුගයේ කිත්සිරිමෙවන් රජ දවස දළදා වහන්සේ වැඩමවීමත් සමඟ මෙරට පෙරහර සංස්කෘතිය ආරම්භ විය. අනුරාධපුර, දඹදෙණිය, කුරුණෑගල, කෝට්ටේ ආදී යුගවල දළදා වහන්සේට කරන ගෞරවයක් ලෙස නොකඩවා මේ පෙරහර වාර්ෂිකව පවත්වාගෙන ආ බව පුරාවෘත්තවල සඳහන් වෙයි. පසුකාලීනව දළදා පෙරහරට අමතරව විෂ්ණු, කතරගම, සුමන සමන්, පත්තිනි ආදී දෙවිවරුන්ට පූජෝපහාර ලෙස පෙරහර සංස්කෘතිය ශෝභාවත් විය. අනාදිමත් කාලයක සිට අපගේ මුතුන් මිත්තන් බුදුරජාණන් වහන්සේට හා දෙවියන්ට කරන පූජාවක් වශයෙන් ද පෙරහර මංගල්‍යයට මුල් තැනක් දුන්හ. එහි උච්චතම අවස්ථාව ලෙස නුවර යුගයේ පෙරහරට බොහෝ දෑ ඇතුළත් විය. ඉන්පසු මහා සංස්කෘතික මංගල්‍යයක් බවට එය පත්විය. අද වනවිට අපට පෙරහර දායාදයකි.
1819 සියවස වන විට යටත් විජිතවාදී යුගයේ කොළඹ නගරයේ ජීවත් වූ බෞද්ධයන් මහත් අපහසුතාවට පත්ව සිටියහ. ඔවුහු තමන්ගේ ආගමික නිදහස අහිමිව සිටියහ. ආගම ඇදහීම බෞද්ධයන්ට දඬුවම් විඳින කාර්යයක් විය. එහෙත් ඔවුන් අතීතයේ මුතුන් මිත්තන් ආරක්ෂා කරගෙන ආ අපේ සංස්කෘතිය හා උරුමය තම පණ දෙවැනි කොට ආරක්ෂා කළහ. එසේ ආරක්ෂා කරමින් සිටින යුගයේ මිෂනාරී බලය ඉස්මතු වී අපගේ ආගමික ඇදහිලි පුද පූජාවලටත් සංස්කෘතික උරුමයන්වලටත් මහත් හානි පැමිණ විය. එක්තරා අවස්ථාවක බොරැල්ල තිලකරත්නාරාමයේ සිට කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයට පැමිණි පෙරහරකට පහර දෙන්න කල්ලතෝනින් කටයුතු කළ අතර ඊට ප්‍රතිඋත්තර ලෙස එකල කොළඹ සිටි ප්‍රභූවරුන් හා මහ සඟරුවන තම විහාරස්ථානය මුල්කරගෙන පෙරහර මංගල්‍යය ඇසළ, දළදා, ධාතු, උඳුවප්, සංඝරාජ, මිහිඳු ආදී ලෙස කොළඹ නගරය පුරාම ව්‍යාප්ත කළේය. කාලයාගේ ඇවෑමෙන් බෞද්ධ ජනතාව කොළඹ නගරයෙන් ශුන්‍ය වීමත් සමඟ පන්සල්වලින් ටිකෙන් ටික එම පෙරහර ද වියැකෙන්නට විය. අද වන විට හුණුපිටිය ගංගාරාමය ද කොටහේන පරමානන්ද පුරාණ විහාරස්ථානය වන අප විහාරස්ථානය ද මේ පෙරහර සංස්කෘතිය නොකඩවා සිදු කරගෙන එයි.
දහසක් බාධක මැද සුළුතරයක් වන සිංහල බෞද්ධයන් එක් වී අතීත උරුමය ආරක්ෂා කර ගන්නටත් සඟමිත් මහ තෙරණිය එදා දඹකොළ පටුනට වැඩම කර ජය ශ්‍රී මහා බෝධිය අනුරාධපුරයට වඩම්මන අවස්ථාවේ ඇත්, අස්, රිය, පාබල ආදිය සමඟ කරන ලද පෙරහර සංස්කෘතිය සිහියට නංවමින් අප ඇසළ පූජෝත්සව සමිතිය දහසක් බාධක මැද යටත් විජිත යුගයේ දී ආරම්භ කරන ලද ධාතු හා දළදා පෙරහර මේ වන විට ඇසළ පෙරහර නමින් 62 වෙනි වරටත් පවත්වන්න කටයුතු සූදානම් කර ඇත. ඇසළ පෙරහර නමින් ජනාදරයට පත් කරන්න අපවත් වී වදාළ කොළඹ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක එල්ලාවල කල්‍යාණවංශ නායක හාමුදුරුවන් වහන්සේ මහත් වෙහෙසක් ගත්හ. එකල පෙරහර කිරීම සඳහා ජාති භේද නැතිව ප්‍රදේශයේ බොහෝ අයගේ සහයෝගය හා රාජ්‍ය අනුග්‍රහය ද ලැබී තිබුණු බවට දැනුදු වැඩිහිටියෝ පවසති.
ඉන්පසු නිල්වක්කේ සුගතවංස නායක හාමුදුරුවන් වහන්සේ ද එයට මහත් ආලෝකයක් වූහ. අද වන විට ඇසළ පූජෝත්සව සමිතියත් වත්මන් විහාරාධිපති කොළඹ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, තඹවිට විමලවංස නායක හාමුදුරුවන් වහන්සේත් මහත් පරිශ්‍රමයක් දරමින් කාගෙත් සහයෝගයෙන් පෙරහර මංගල්‍යය නොකඩවා සිදු කර ගෙන යති. රටේ පැවති අයහපත් වාතාවරණය මත වසර කීපයක් චාරිත්‍රවලට පමණක් මෙය සීමා විය.
මෙවර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අතින් සධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කර පෙරහර වීථි සංචාරය කරයි. ඊයේ (14) සධාතුක කරඬුව රැගත් මල් පෙරහර විහාරස්ථානය වටා පැවැත්විණි. අද (15) සුබ නැකතට මහා පෙරහර සධාතුක කරඬුව සහිතව දේවාල පෙරහර ද එකතුව උඩරට, පහතරට, සබරගමු නර්තනවලින් සමන්විතව වීථි සංචාරය කිරීමට නියමිතය. 16 වන දින රාත්‍රියේ දී කප නිදහස් කිරීමේ කටයුතු සිදු කර 17 වැනි දින උදෑසන දේව දානය දී දෙවියන්ට පින් දීමෙන් පසු පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.