පනාමුර පොලිස් වසමේ පනාමුර කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහරට ගෙනා අලි නැරැඹීමට ගිය සිසුවකුට අලියකු සිදු කළ පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බව ඇඹිලිපිටිය පොලිසිය පැවසීය.
අලියාගේ පහරදිම හේතුවෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු දොළහක පාසල් සිසුවෙකු වන ඇඹිලිපිටිය 2 කණුව, ගල්අමුණ ලිපිනයේ පදිංචි මුණසිංහගේ ලකිදු නෙත්සර මුණසිංහ නැමැති සිසුවා බව පොලිසිය පැවසීය.
කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යය (15) දින පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම පෙරහර සඳහා අලි 04 දෙනෙකු විහාරස්ථානය වෙත රැගෙන විත් ඇත. එම අලි හතර දෙනා විහාරස්ථානයේ ඉඩමේ ගාල්කර තිබී ඇති අතර, එම අලි නැරඹීම සඳහා අවට සිටි පිරිස් සහ ළමයින් ද පැමිණ ඇත.
එලෙස අලි නරඹමින් සිටියදී එක්වරම සිසුවාට අලියෙකු පහර දී ඇත. අලියාගේ පහරදීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරු ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරන බව ද පැවසීය.