නිර්වින්දන කිරීම සහ මොළය ආශ්‍රිත රෝග සඳහා භාවිත කිරීමට ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග අටක් මාස හයක සුපරීක්ෂා කාලයක් දීමෙන් තොරව ලියාපදිංචි කිරීමට ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් වන විරෝධතා ලබන ඔක්තෝබර් මස දෙවැනි දාට පෙර ගොනු කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය ඊයේ (14) නියම කළේය.
ජාතික ඖෂධ අධිකාරී පනතට පටහැනිව යමින් අදාළ එන්නත් ලියාපදිංචි කිරීමට සහ වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කර ඇති බවට පැමිණිලි කරමින් මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු වන ප්‍රණීතා එන්. වර්ණකුලසූරිය සහ දෙව්ශාන් පී. බුද්ධරගේ විසින් ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ මේ නියෝගය කරන ලදි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය ඇමැතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, යාඩීන් ලැබොරටරි පෞද්ගලික සමාගම ඇතුළු 18 දෙනෙක් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.සී.බී එස්. මොරායස් මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම කැඳවන ලදි.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා සඳහන් කළේ පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග තමන් සාකච්ඡා කළ බවත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්ය. එබැවින් මේ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන අතර, එම විරෝධතා ගොනු කිරීම සඳහා සති හයක් කල් දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර දෙන ලෙස අදාළ එන්නත් නිෂ්පාදනය කළ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මේ සම්බන්ධ විරෝධතා සති දෙකකදී ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළේය. ඒ අනුව අදාළ විරෝධතා ඔක්තෝබර් දෙවැනිදා ගොනු කරන ලෙසත්, ඊට එරෙහි ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් 16 දා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියම කරන ලද අතර, පෙත්සම නැවත සලකා බැලීම ඔක්තෝබර් මස 26 වැනිදා සිදු කිරීමට නියම විය.
නීතිඥ නිලුකා වෙල්ගමගේ මහත්මියගේ උපදෙස් මත, නීතිඥ දෙශාරා ගුණතිලක සමග නීතිඥ නිල්ශාන්ත සිරිමාන්න පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.