Monday, April 21, 2025
Home » ලිබියාවේ ගංවතුරෙන් මුහුදට ගසා ගිය මළ සිරුර දහස් ගණනින් ගොඩ ගසයි
නැගෙනහිර ලිබියාවේ මහා ඛේදවාචකය

ලිබියාවේ ගංවතුරෙන් මුහුදට ගසා ගිය මළ සිරුර දහස් ගණනින් ගොඩ ගසයි

සුළි කුණාටුවෙන් පුපුරා ගිය වේලි දෙකකින් ඝන මීටර් මිලියන 19.5ක යෝධ ජල කඳක්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

මරණ ගණන 20,000 දක්වා ඉහළ යනු ඇතැයි නගරාධිපති කියයි

ලොවම කම්පා කළ ලිබියාවේ ඩැනියෙල් සුළි කුණාටුවෙන් එරට විශාලතම වේලි බිඳී යෑම හේතුවෙන් උද්ගත වූ අනපේක්ෂිත ගංවතුරට හසු වී ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව විසිදහසකට ආසන්න විය හැකි බව නැගෙනහිර ලිබියාවේ ඩෙර්නා නුවර නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට දින දෙකකට පෙර නැගෙනහිර ලිබියාව ආක්‍රමණය කළ ඩැනියෙල් සුළි කුණාටුවේ බලපෑමෙන් ඩෙර්නා වේල්ල සහ මන්සූර් වේල්ල බිඳ වැටීමෙන් මේ විනාශය සිදු වී තිබිණී. ජලය ඝණ මීටර් මිලියන 18ක ජල ධාරිතාවකින් සමන්විත මීටර් 75ක් උසැති ඩෙර්නා වේල්ල සහ ඝණ මීටර් 1.5ක ජල ධාරිතාවකින් යුතු මීටර් 45ක් උසැති මන්සූර් වේල්ල එකවර බිඳී යෑම හේතුවෙන් ඩෙර්නා නගරයට අඩි 23ක් ඉහළින් සුනාමියක වේගයෙන් ගලා ගිය ජල ධාරාවෙන් ගොඩනැගිලි, නිවාස කඩා වැටුණු බවත්, ගස්වැල් සහ වාහන තැළී පොඩි වී නගරවාසීන් සමඟ මුහුදට ඇදී ගිය බවත් වාර්තා වේ. ඩෙර්නා වේල්ල සහ මන්සූර් වේල්ල පුපුරා යෑම ගුවන් ප්‍රහාරයක තරම් ශබ්දයක් නිකුත් කර තිබූ බව ද වාර්තා වේ. මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්වූ නගරවාසීන්ගේ මළ සිරුරු මේ වන විට වෙරළට ගොඩ ගැසෙමින් තිබෙන අතර, එය ගණන් කළ නොහැකි තරම් විශාල ප්‍රමාණයක් බව ද සඳහන් වේ. පවතින තත්ත්වය මත මළ සිරුරු බහාලුම් හිඟයක් ද ඇති වී ඇතැයි සහන සේවා කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.

70 දශකයේ මුල් භාගයේදී එවකට යුගෝස්ලෝවියාවේ ඉදිකිරීමේ සමාගමක් විසින් ඉදිකරනු ලැබූ බව කියන එම වේලි දෙකම දශක දෙකකට වැඩි කාලයක් පුරා නඩත්තු කිරීමක් සිදු නොවූ බැවින් සුළි කුණාටුවකට ඔරොත්තු නොදෙන තත්ත්වයක තිබූ බව එරට විද්‍යඥයන් ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT