Saturday, April 19, 2025
Home » චැනල් 4 මාධ්‍ය සදාචාරය අමු අමුවේ කෙලෙසුවා

චැනල් 4 මාධ්‍ය සදාචාරය අමු අමුවේ කෙලෙසුවා

ස්විට්සර්ලන්තයේ හිටපු තානාපති නීතිඥ සරත් කෝන්ගහගේ

by mahesh
September 15, 2023 1:01 am 0 comment

උදිත ගුණවර්ධන

– පුද්ගලික නාළිකාවක හිටපු මාධ්‍යවේදියෙක් වීඩියෝවට සම්බන්ධයි
– ජනතාව කුපිත කරන සැලසුමක් තිබෙනවා
– පසුබිම් දර්ශන ගත්තේ දේශීය නාළිකාවකින්ද යන්න සැකයි

ආන්දෝලනාත්මක චැනල් 4 වීඩියෝව සඳහා ව්‍යාජ තොරතුරු ලබා දී තමාව නොමඟ යවමින් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙරට පුද්ගලික රූපවාහිනි නාළිකාවක උදෑසන වැඩසටහන් මෙහෙයවන ඉංග්‍රීසි මාධ්‍ය නිවේදකයකු කටයුතු කළ බවත් චැනල් 4 වීඩියෝවේ තිබෙන බොහෝ වීඩියෝ සටහන් මෙරට පුද්ගලික රූපවාහිනි නාළිකාවකින් උපුටා ගත් ඒවා බවට තමන් සැක කරන බවට ස්විට්සර්ලන්තයේ හිටපු තානාපති සහ මෙරට ජාතික මාධ්‍ය ආයතන ගණනාවක ඉහළ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන සරත් කෝන්ගහගේ මහතා සඳහන් කරයි. මේ ඒ පිළිබඳව ඔහු අප සමඟ සිදු කළ සාකච්ඡාවයි.

චැනල් 4 නාළිකාව ඉදිරිපත් කර තිබෙන ආන්දෝලනාත්මක වීඩියෝව තුළ ඔබේ රුව සහ හඬ ඇතුළත් රූප පෙළක් තිබෙනවා. මේ රූප පෙළට ඔබ අදහස් පළ කළේ කුමන පදනමකින්ද?

මේ සඳහා මූලිකව කටයුතු කළේ මෙරට පුද්ගලික රූපවාහිනි නාළිකාවක උදෑසන ඉංග්‍රීසි භාෂාවෙන් වැඩසටහන් මෙහෙයවන මාධ්‍යවේදියෙක්. ඔහු සමඟ මා දීර්ඝ කාලයක ඉඳන් සබඳතා පවත්වනවා විතරක් නොවෙයි ඔහුව ඒ නාළිකාව වෙත සම්බන්ධ කළේ මා විසිනුයි.

ඔහු මා වෙත ඇවිත් කිව්වා සරත් බ්‍රිතාන්‍ය අයි.ටී.එන්. නාළිකාවට ඔයාගේ වොයිස් කට් එකක් ගන්න පුළුවන්ද කියලා. මම ඔහුට ඒ සඳහා කැමැත්ත පළ කළා. ඒ අනුව බ්‍රිතාන්‍ය අයි.ටී.එන්. නාළිකාවේ කියූ පිරිස වැඩසටහන පටිගත කිරීමට ආවා. ඔවුන් පැය දෙක හමාරක් පුරා පටිගත කිරීම් සිදු කළා. ඒ පටිගත කිරීම තුළ මගෙන් ඔවුන් විමසුවේ රාජපක්ෂවරුන්ගේ පසුගිය දේශපාලන ජයග්‍රහණ පිළිබඳවයි. එදා මම දේශපාලන වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව වැඩ කළ කෙනෙක් විදිහට මම ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළා. ඉන්පසු කාලයක් ගතවන තුරු මේ වීඩියෝව පිළිබඳව කිසිදු ආරංචියක් තිබුණේ නැහැ. ඒත් හදිසියේ පසුගිය සතියේදී මෙම වීඩියෝව මතුවීමත් සමඟ මා විශ්මයට පත් වුණා. ඇත්තෙන්ම මා ලබා දුන් වීඩියෝව ලොකු සංස්කරණයකට ලක් වෙලා තිබුණා. එහි තිබුණේ මගේ රූපය සහ තත්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක්. ඒ සියල්ලටම වඩා පුදුම සහගත දේ තමයි මා කිසිදාක වීඩියෝ පටිගත කිරීමක් හෝ සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදුන් බ්‍රිතාන්‍ය චැනල් 4 නැමැති නාළිකාවෙන් මෙම වීඩියෝව ප්‍රචාරය වීම. මම මේ වීඩියෝව නරඹනු ලැබුවේ බී.බී.සී. නාළිකාව ඔස්සේ. මගේ කිසිම දැනුවත් භාවයකින් තොරව චැනල් 4 නාළිකාවේ මගේ ප්‍රකාශය පළවීම. ලෝකය පිළිගත් මාධ්‍ය සදාචාරය අමු අමුවේ කෙලෙසා දැමීමක් බව සඳහන් කිරීමේ වරදක් නැහැ.

ඇත්තෙන්ම අපකීර්තිමත් නාළිකාවක් විදිහට නම් දරා තිබෙන චැනල් 4 නාළිකාවට ප්‍රකාශයක් ලබා ගන්නා බව සඳහන් කළා නම්, කිසිසේත්ම මම මේ වීඩියෝපටයට ප්‍රකාශයක් දෙන්නේ නැහැ.

ඔබ ඒ වීඩියෝව සඳහා ලබා දුන් ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

මගෙන් ප්‍රශ්න කළා පාස්කු ප්‍රහාරය පිළිබඳව. එහිදී මම පැහැදිලිව සඳහන් කළා මේ ප්‍රහාරයට දේශපාලන සම්බන්ධයක් නැහැ. ප්‍රහාරය මෙහෙය වූයේ අන්තවාදී මුස්ලිම් තරුණයන් පිරිසක් බව. ඉන්පසු රාජපක්ෂවරුන්ගේ දේශපාලන හැසිරීම සහ ජනප්‍රියත්වය පිළිබඳ ප්‍රශ්න කිරීමක් කළා. මා ඒ පිළිබඳවද පැහැදිලිව මගේ අදහස පළ කළා. ඒත් අවසානයේදී ප්‍රහාරය සිදු කළේ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් බවට මගේ ගවේෂණාත්මක සහ තර්කානුකූල අදහස් ප්‍රකාශ කළා. එහෙත් මගේ කිසිම දෙයක් චැනල් 4 වීඩියෝවේ නැහැ. මගේ රූපය සහ තත්පර තිහක ප්‍රකාශයක් පමණක් වීඩියෝවේ තිබුණා. ඇත්තෙන්ම මාව නොමඟ යවා අසත්‍ය කරුණු ඉදිරිපත් කර මගෙන් ලබා ගත් පැය දෙකක ප්‍රකාශය බරපතළ විදිහට සංස්කරණය කර එහි තිබෙන අර්ථය සම්පූර්ණයෙන්ම විකෘති කර තිබෙනවා.

මේ තත්ත්වය ඔබට අහිතකර ලෙස බලපානවා නේද.?

මම මගේ දේශපාලන අදහස වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා. මම මාධ්‍ය ආයතන කිහිපයක විධායක මට්ටමේ තනතුරු දැරූ කෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු විදිහට මගේ දැනුවත්භාවයෙන් තොරව ප්‍රචාරය වූ වීඩියෝව නිසා මට ගැටලු රැසකට මුහුණදීමට සිදු වෙලා තිබෙනවා. එයින් මට සිදුවන අපහසුතාවට මා නොමඟ යවමින් ප්‍රකාශයක් ලබා ගත් ආයතනය වගේම මෙරට පුද්ගලික රූපවාහිනි නාළිකාවක උදෑසන ඉංග්‍රීසි වැඩසටහන් ඉදිරිපත් කරනු ලබන මාධ්‍යවේදියා වගකිව යුතුයි.

ඔබගේ කීර්තිනාමයට සිදු වූ හානිය පිළිබඳව චැනල් 4 නාළිකාවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තිබෙනවා නේද?

මේ පිළිබඳව මූලික කරුණු සොයා බලමින් සිටින්නේ. මේ සිදුවීම සහ මාව නොමඟ යවා ලබා ගත් ප්‍රකාශය සහ ඒ සඳහා බ්‍රිතාන්‍ය අයි.ටී.එන්. නාළිකාවේ නාමය භාවිත කිරීම ගැන පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පැමිණිල්ල මූලිකව යොමු කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය අයි.ටී.එන්. නාළිකාව වෙතයි. ඉන්පසු ඉදිරි කටයුතු නිසි විදිහට සිදුවේවි.

ඔබ මාධ්‍ය හමුවේ සඳහන් කළා චැනල් 4 නාළිකාව වෙත ලැබී තිබෙන දර්ශන ඇතුළත් වීඩියෝපට ලැබුණු ආකාරය සැක සහිතයි කියා. මේ වීඩියෝව පිළිබඳව ඔබේ අදහස කුමක්ද.?

මට ටෙලිවිෂන් මාධ්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. මට පැහැදිලිවන එක් දෙයක් තමයි මේ වීඩියෝ සියල්ල චැනල් 4 ආයතනයේ වීඩියෝ නොවෙයි. දේශීය නාළිකාවකින් ලබා ගත් දර්ශන කියන දේ. මට සෘජුව අහවල් නාළිකාව කියලා ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඒත් මේ වීඩියෝ සියල්ල මෙරට පුද්ගලික රූපවාහිනි නාළිකාවකින් උපුටා ගත් ඒවා බව පැහැදිලියි.

මෙතැන රට අපහසුතාවට පත් කිරීමේ සහ ජාතීන් අතර සමගිය, අවබෝධය කඩවෙන විදිහේ සැලසුමක් තිබෙනවා විය හැකියි. ඇත්තෙන්ම චැනල් 4 වැනි නාළිකා නිතරම උත්සාහ කරනු ලබන්නෙ අප වැනි රටවල් අස්ථාවර කර ගැටුම් ඇති කර විවිධ අරමුණු ජයගැනීමටයි. ඒ සඳහා විවිධ අරමුණු සහිත දේශපාලන කණ්ඩායම්ද සම්බන්ධව සිටිනවා. ඒ නිසා තමයි මේ වීඩියෝව සඳහා අනවශ්‍ය තරමේ ප්‍රචාරයක් ලබා දෙන්නේ.

පාස්කුදා ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා එවක විපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට නියමිතව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට වාසිදායක තත්ත්වයක් ඇති වූ බවට අදහස් පළ වෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මේක හතර බීරි කතාවක්නෙ. සමහර කණ්ඩායම් මතු කරන තර්ක අනුව පෙනෙන්නේ සහරාන් වගේම කාදිනල්වහන්සේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළ බවයි. කෙනෙකුට කියන්න පුළුවන් සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වාසියට හේතුවක් වුණා කියලා. එහෙත් ඒ අමානුෂික ත්‍රස්තවාදී ප්‍රහාරය රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව කළා කියා තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නෑ. කෙනෙකුට කටට ආවට චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. ඒත් ඒ චෝදනාව සත්‍ය බවට තහවුරු කිරීමට ඔහුට පුළුවන් වෙන්න ඕනෑ. අද පමණක් නොවෙයි අතීතයේ සිටම මෙවැනි චෝදනා ගැන විවිධ ප්‍රවාද තිබුණා. 1959දී බණ්ඩාරනායක මහතා ඝාතනය කළේ සෝමාරාම විසින් ඒක ඔප්පු කළ හැකි ඇසින් දුටු සාක්ෂි ඕනෑ තරම් තිබුණා. ඒත් ඒක පිළිනොගත් පිරිස් හිටියා. ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ කොටි සංවිධානය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඝාතන ගොඩක් සිදු කළා. විජය, ලලිත්, කොබ්බෑකඩුව ඝාතන ඒ අතින් ප්‍රධානයි. ඒත් ඒ හැම ඝාතනයක්ම ප්‍රේමදාස මහතාගේ කරමතින් තිබ්බා. ඒත් ඇත්ත ඒක නොවන බව කාලයත් සමඟ තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා සෑම දෙයක් ගැනම ඇත්ත නැත්ත මොකක්ද කියලා බලා චෝදනා කරන්න ඕනෑ.

ඉබ්‍රාහිම් නානා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටියා. ඔහුගේ පුතුන් සහරාන්ගේ ත්‍රස්තවාදය සමඟ එකතු වෙලා මරාගෙන මැරුණා. ඒත් මම කියන්නෙ නැහැ සහරාන් එක්ක ජවිපෙ සම්බන්ධයි කියලා. දේශපාලන ප්‍රමිතිය, ආචාර ධර්ම කියන්නෙ ඒකයි. එහෙම නැතිව ඔප්පු කරන්න බැරි දේවල් කීම දේශපාලන අපරාධයක් විදිහටයි පෙන්වා දිය හැක්කේ.

අද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා එල්ල කරනවා. ඔහුට ඒ චෝදනා ඔප්පු කරන්න බෑ. බොරු චෝදනා නිසා වින්දිතයකු වූ ප්‍රේමදාස මහතාගේ පුතාම අද තහවුරු කළ නොහැකි දේවල් ප්‍රසිද්ධියේ කීම කනගාටුවට කරුණක්.

මේ පිරිස් කියනවා සහරාන් මරාගෙන මැරුණේ ගෝඨාභය බලයට ගේන්න කියලා. එහෙනම් එදා කාදිනල් වහන්සේගේ දේශපාලන නැඹුරුව තිබුණෙත් ගෝඨාභය රාජපක්ෂ දෙසට. එහෙනම් සහරාන් වගේම කාදිනල් වහන්සේත් ප්‍රාර්ථනා කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය. ඇත්තෙන්ම මේක විස්මයට හේතුවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් .

ඔබ රට තුළ ගිනි අවුළවන සැලසුමක් තිබෙන බව සඳහන් කරන්නේ කුමන සාධක ඇතුවද?

දෙමළ ජනතාව තුළ යුදෙව්වාදී මානසිකත්වයක් ඇති කිරීම තමයි සිදු කිරීමට උත්සාහ කරන්නේ. ඒ සැලසුම් පිටුපස සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා සිටිනවා. ඇත්තෙන්ම දෙමළ, මුස්ලිම් කියලා අප අතර භේදයක් නැහැ. අපි මහ පාරේ, වැඩබිමේ, කාර්යාලයේ සමගියෙන් වැඩ කරනවා. ඒත් සමහරුන්ට මේ සමගිය දරා ගන්න බැහැ. ඒ අය උත්සාහ කරන්නේ තමන්ගේ පටු අරමුණු සඳහා ජාතීන් අතර වෛරය ඇති කිරීමටයි. යුදෙව්වන් සහ මුස්ලිම්වරු නොසිඳෙන වෛරයක් තිබෙන්නේ. මේ අයට ඕනෑ කරන්නේ එවැනි වෛරයක් සිංහල දෙමළ දෙපාර්ශ්වය අතර ඇති කිරීමටයි. ඒ නිසා මම බොහොම ආදරයෙන් දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දේශපාලන ගැටවලට අහුවෙන්න එපා කියලා.

ඇත්තෙන්ම අප රටක් විදිහට කළ යුත්තේ තව තවත් ගිනි ඇවිළීම නොවෙයි ගිනි නිවීමයි. කලක් මුස්ලිම්වරු සහ සිංහල ජනතාව අතර වෛරයක් ඇති කිරීමට කටයුතු කළා. එහෙත් එවැනි දේ අපේ රටට සුදුසු දේවල් නොවෙයි. චැනල් 4 වගේ නාළිකා උත්සාහ කරන්නේ රට ඇතුළේ ඒ වගේ තත්ත්වයක් ඇති කිරීමටයි.

තිස් අවුරුදු යුද්ධයෙන් පසු මෙරට ඇති වූ සමගිය බිඳදමා අනවබෝධය ඇති කිරීමට චැනල් 4 නාළිකාව කටයුතු කළ බවට චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

අප රට යුද්ධයෙන් පසු සමගි සම්පන්නව ඉදිරියට ගමන් කිරීමට කටයුතු කරන්නට මූලික අවස්ථාවේ උත්සාහයක් ගත්තා. එදා අපට ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේදී පවා ජයග්‍රහණය කිරීමට හැකි අන්තර්ජාතික සහායක් තිබුණා. ඒ තත්ත්වය තුළ චැනල් 4 නාළිකාව අපේ රටේ යුද අපරාධ සිදු වූ බවට ‘කිලින් ෆීල්ඩ්’ නමින් වාර්තා චිත්‍රපටයක් ඉදිරිපත් කළා. ඔවුන් දිගින් දිගටම සඳහන් කළා අවසන් සටනේදී මිනිසුන් හතළිස් දහසක් මිය ගියා කියලා. ඒත් ඇත්තෙන්ම එවැනි සමූල ඝාතනයක් සිදු වුණේ නැහැ. ඒ කාලය ඇතුළත යුද බිම තුළ සිදුව තිබුණේ මරණ හත්දහසක් පමණයි. චැනල් 4 මෙම වාර්තා චිත්‍රපටය සමඟ අපේ රටට විශාල හානියක් සිදු වුණා. චැනල් 4 නාළිකාව අදත් උත්සාහ කරන්නේ මෙරට බුද්ධි අංශ පවා සම්බන්ධ කර ව්‍යාජ තොරතුරු සමාජගත කිරීමටයි.

පාස්කු සිදුවීම පිළිබඳව අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවට අදහස් පළ වෙනවා. ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරය ගැන අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය වෙනවාද?

අන්තර්ජාතික පරීක්ෂණයක් නොවෙයි අවශ්‍ය වෙන්නේ අන්තර්ජාතික මට්ටමේ පිළිගත් පිරිස් යොදවා සිදු කරනු ලබන දේශීය පරීක්ෂණයකුයි. එවැනි දේශීය පරීක්ෂණයකට අවශ්‍ය අන්තර්ජාතික කීර්තිය තිබෙන මැදහත් පිරිස් අප රට තුළ ඉන්නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT