තුන්වෙනි යාමය චිත්‍රපටය ලාංකේය සිනමා ඉතිහාසයේ 558 වැනි චිත්‍රපටය වශයෙන් තිරගත වූයේ 1983 ඔක්තෝබර් 28 වැනිදාය. වසර 40ක වැනි කාලයක් ඉක්ම ගිය ද එවන් චිත්‍රපටයක් පිළිබඳව කතා කළ යුතු මාතෘකා තව තවත් විවර වනවා මිසක එහි අඩු අගයක් සම්බන්ධව කතා කළ යුතු තැන් ආවෘතය. චිත්‍රපටයේ නිෂ්පාදනය, අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත ද තම නිර්මාණයන් සියල්ලම පාහේ විචාරක පැසසුමට මෙන්ම කතාබහට ද ලක්වූ ධර්මසිරි බණ්ඩාරනායකගේය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති නිර්මාණවේදියකු වූ ධර්මසිරි බණ්ඩාරනායකයන් තුන්වෙනි යාමය චිත්‍රපටයට අත ගසනා විට ඔහු වයස අවුරුදු 34ක යෞවනයෙකි. යෞවනයේ මිහිරෙන් නිතරම තෘප්තිමත් නොවන්නට වග බලා ගත් ඔහු නිතරම පාහේ තම නිර්මාණයන් ඔස්සේ කතාබහ කරන්නට සූදානම් වූයේ පවුල් සංස්ථාව තුළ මෙන්ම පවතින සමාජ ක්‍රමය තුළ මතුවන ගැටලු පිළිබඳව විවරණය කරනා නිර්මාණයන්ය.
චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ ලෙසින් පෙනී සිටියේ සිනමා රිදී තිරය මත හෙම්බත් වූ චරිත යුගලයක් නොවේ. ඉන් අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන්නට ඇත්තේ ද නැවුම් නළු නිළි දෙපළගෙන් උපරිම දක්ෂතාවය උකහාගෙන ප්‍රේක්ෂකයා චිත්‍රපටය හා අවසානය වන තුරු රඳවා ගැනීම විය හැකිය. කෙසේ වෙතත් මේ චිත්‍රපටය හා සම්බන්ධ වූයේ වසන්ත කොටුවැල්ල සහ ඉන්දිරා ජොන්ක්ලාස්ය. මේ වන විට ඉන්දිරා ජොන්ක්ලාස් 1975දී තිරගත වූ මනික් සන්ද්‍රසාගරගේ ‘කළුදිය දහර’ චිත්‍රපටය හා සම්බන්ධව සිටියාය. ඉංග්‍රීසි වේදිකාවෙන් සිංහල සිනමාවට පිවිසි ඉන්දිරා තමා රංගනයෙන් සම්බන්ධ වූ චිත්‍රපට කිහිපය තුළදී වුවද සිනමාලෝලී ප්‍රේක්ෂකයන්ගේ හදවත ස්පර්ශ කිරීමට සමත්කම් දැක්වූවාය. පස්වැනි මණ්ඩලයේ තිරගත වූ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයේ ‘ප්‍රින්සි’ ගේ චරිතය හා රංගනයෙන් සම්බන්ධ වූයේ ඉන්දිරාය. ‘කළුදිය දහර’ චිත්‍රපටයෙන් අනතුරුව ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ’ චිත්‍රපටයට සම්බන්ධ වූ ඇය ‘තුන්වැනි යාමය’ චිත්‍රපටය හා සම්බන්ධ වූ පසු ප්‍රකාශ කර සිටියේ මෙම චරිතය හා ඇයට හොඳින් ඒකාත්මික වීමේ හැකියාවක් ලැබුණු බවත්, චිත්‍රපටය රූගත කිරීමේදී නළු – නිළියන් මෙන්ම ශිල්පීන් සියලු දෙනාම එකමුතුව කටයුතු කළ බවයි. ඉන්දිරා ජොන්ක්ලාස්ට අමතරව චිත්‍රපටය හා සම්බන්ධ වූ අනෙක් යොවුන් නළුවා වූයේ වසන්ත කොටුවැල්ලයි. වර්තමානයේ ඔහුගේ නම ජනප්‍රිය වුවද 80 දශකය යනු සිනමා ක්ෂේත්‍රයටම ඔහු නවකයෙකි. හේ චිත්‍රපටය හා එක්වූයේ ‘පර්සි පීරිස්’ ලෙසිනි. පර්සිගේ කුඩා කාලය පිළිබඳව චරිතය නිරූපණය කරනු ලැබුවේ රංග බණ්ඩාරනායකයි. එමෙන්ම පර්සිගේ පියා ලෙස ගාමිණී හත්තෙට්ටුවේගම චිත්‍රපටය හා සම්බන්ධ වන විට සෙසු චරිත හා එක්වූයේ ජේ. එච්. ජයවර්ධන, වින්ස්ටන් සේරසිංහ, අයිරාංගනී සේරසිංහ සහ සයිමන් නවගත්තේගමය.
පර්සි පීරිස් සහ ඔහුගේ බිරිය වන ප්‍රින්සි මධුසමය ගත කිරීමට ගිය දා විවාහ ජීවිතයේ සුව ඔහුට නිසි ආකාරයෙන් විඳීමට නොහැකි වන්නේ පර්සිට අතීතාවර්ජනයන් මානසික ආබාධයක් වන තරමට උත්සන්න වන හෙයිනි. එය පවුල් ජීවිතයේ අසාර්ථකත්වය දක්වාම බලපැවැත්වෙන අතර, ඔහුට භූතාත්මයක බලවේගයක් එල්ල වී ඇතැයි යන කරුණ මත පියතුමකු මාර්ගයෙන් මෙන්ම විශේෂිත වූ පූජකයකු ද හමුවීමට ද කටයුතු සූදානම් කෙරෙනවා.
වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලේබලයෙන් තිරගත වූ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයට කැමරාකරණයෙන් සම්බන්ධ වූයේ ඇන්ඩෘ ජයමාන්නය. එමෙන්ම කේමදාසයන්ගේ සංගීතය ද චිත්‍රපටය වෙනුවෙන් මහත් මෙහෙවරක් ඉටු කරනු ලැබීය.
1983 වර්ෂයේ ඔක්තෝබර් 28 වැනිදා චිත්‍රපටය තිරගත වීමෙන් පසු සම්මාන රාශියක් ලබන්නට සමත් වූ අතර, සරසවි සම්මාන උලෙළේදී හොඳම පිටපත් රචනය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණය මෙන්ම හොඳම ශබ්ද පටිගත කිරීමට ද සම්මාන ලබාගත් අතර, ඕ. සී. අයි. සී. සම්මාන උලෙළේදී ලබාගත් සම්මාන වූයේ අධ්‍යක්ෂණය සඳහා විශේෂ ජූරි සම්මානය, හොඳම නළුවා, හොඳම සංගීත අධ්‍යක්ෂවරයා, හොඳම කැමරාකරණය යන සම්මානයි. එමෙන්ම ජාතික චිත්‍රපට උලෙළේදී ජනාධිපති සම්මාන දිනාගන්නට සමත් වූයේ හොඳම සිනමාකරු, හොඳම ශබ්ද පටිගත කිරීම සමඟින් රංගනය සඳහා විශේෂ කුසලතා සම්මාන දෙකක් ද සමඟිනි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ තිර නාටක ඇගැයීම යටතේ විශිෂ්ට තිර නාටකයක් බවට පත්වූ තුන්වැනි යාමය චිත්‍රපටය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූවේ චිත්‍රපට සංස්ථාවෙනි. ජාතික රූපවාහිනියෙන් මෙවර විකාශය වන සිනෙඡයා තුළින් මෙවර (15 සිකුරාදා) විකාශය වීමට නියමිතව ඇත්තේ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයය.
චිත්‍රපටය විකාශය වීමට පෙර සෙනෙෂ් දිසානායක විසින් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම, පුවත්පත් කලාවේදී හා සිනමා විචාරක රොහාන් වෙත්තසිංහ සමඟින් සිනමා විචාරයක් ද රාත්‍රී 9.30ට පවත්වනු ලබයි.