Home » මං ඉන්නෙ සැමන් ටින් එකක

මං ඉන්නෙ සැමන් ටින් එකක

OUTSIDER සමඟ එන බූඩි කීර්තිසේන

by mahesh
September 15, 2023 1:00 am 0 comment

නුවන් මහේෂ් ජයවික්‍රම

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විශ්වනාත් බුද්ධික කීර්තිසේන (බූඩි) සති අන්තයේ රාත්‍රී 10ට ITN ඔස්සේ විකාශය කෙරෙන පිටස්තරයෙක් (OUTSIDER) සිංහල ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයත් සමඟ පුංචි තිරයටත් පිවිස සිටියි. සමනලී ෆොන්සේකා, දසුන් පතිරණ, ප්‍රදීප් රාමවික්‍රම ඇතුළු පිරිසක් එහි රඟති. අපි දැන් බූඩි මුණගැසෙමු.

කොහොමද ප්‍රතිචාර?

ඒක මං දන්නෑ. ප්‍රේක්ෂකයන්ගෙන් තමයි අහන්න ඕනෑ.

ඇයි ටෙලි නාට්‍ය කරන්න පමා වුණේ?

මට කවුරුත් ඉඩ දුන්නැහැනේ.

පුදුමයක්නේ, එහෙම කතාබහක්වත් තිබිලා නැද්ද?

එක එක දේවල් අහන්න නම් ලැබුණා. හැමදාම කරන අයට තමයි අපි දෙන්නේ කියලා සමහරු කිව්වා. බෙල්ට් එක අතාරින්න බැරි නිසා වෙන අයව ගාව ගන්න බැහැ කියලාත් කට්ටියක් කිව්වා. ඒකෙන් මේකෙන් මං කැමැතිම සිනමාව කරගෙන හිටියා. මගේ තාත්තා චිත්‍රපටි කරන කෙනෙක් වීම අහඹු දෙයක්නේ. එහෙමයි කියලා හැමදාම එයාගෙන් ඉල්ලන්නත් බැහැනේ. ඉතින් මං දන්නෑ. පුරුදු බාස්ටම වැඩක් භාර දෙනවා වගේ එකක් වෙන්නැති. මට හරියට කියන්න තේරෙන්නෑ. සැරයක්, මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ දෙන්නා මැදිහත් වෙලා ෆීල්ඩ් එකේ එහෙම කතාබහකින් පස්සේ ඇවිත් ‘අයියේ, ඔයා ගැන ෆීල්ඩ් එකේ මාර අයිඩියානේ තියෙන්නේ, ඔයාව කෑලි කෑලිවලට කපලා. සැමන් ටින් එකක් ඇතුළෙනේ ඔයා ඉන්නේ’ කියලායි මහේන්ද්‍ර මට කිව්වේ. හැබැයි මං කාවවත් කපලා, පාගලා නැහැ.

හුඟ දෙනෙක් මේ වැඩේ අමුතුයි කියනවානේ?

මං කරන හැම වැඩේටම මේ රටේ වැඩි දෙනෙක් අමුතුයි කියලානේ කියන්නේ. මට හිතෙන දේ මං කරන්නේ. ඉතින් මං දන්නෑ. මට දැනෙන දෙයක් එපැයි මං කරන්න.

බූඩි අනෙක් ඒවා බලන්නේ නැද්ද?

දඬුබස්නාමානය, වෙදහාමිනේ එහෙම බැලුවා. ඊට පස්සේ එකම දේවල් ටිකක්නේ දැන් වැඩිපුර යන්නේ. ඒවා සවුත්තුයි කියලා කියනවා නෙවෙයි, ඒත්, මං එහෙම වැඩ කරන්න ආස නැහැ. සල්ලි හම්බ කරන්නයි කියලා ඊළඟ වැඩේ බලාගෙන වැඩ කිරීමකුත් මගේ නෑ. අනෙක එක වගේ වැඩ දෙකක් කරන එකත් මට අවුල්. වෙනසකටයි මං කැමැති.

‘හරි ස්ලෝ’ කියලාත් කට්ටිය කියනවා?

ඒ වැඩේ හැටියටනේ ගලා යෑම තීරණය වෙන්නේ. අනෙක මේක ටෙලි සීරීස් එකක්. ටෙලි ෆිල්ම් එකක් වගේ. විද්‍යා ප්‍රබන්ධයක්. මං සිනමාවට ආවේම ශානරයේ වැඩවලට වහ වැටිලානේ. කුස්සියේ වැඩ කරන ගමන්, රෙදි හෝදන ගමන් ටී. වී. එකට ඇහුම්කන් දුන්නාට මේ වැඩේ අහුවෙන්නේ නැති වෙයි. අනෙක, මට මේ වැඩේට කතා කළ සුපුන් රත්නායකටත්, ITN සභාපතිටත් මං ස්තුති කරනවා. ස්පිල්බර්ග් ඉඳන් ධර්මසේන පතිරාජ, ප්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, විමුක්ති ජයසුන්දර ආදීන්ට මේ වැඩේ ඇතුළෙදි මං පොඩි සැලියුට් එකක් දීගෙන යන්නේ. මගේ මාතා ෆිල්ම් එකට මේ රටේ සමහරුන්ගේ විවේචන තිබුණත් පිටරට හුඟ දෙනෙක් ඒ විදියට සතුට පළ කළා. අපේ ඒ ගතිය තියෙනවා. ඒ අයට අපේ අයගේ බඩු සවුත්තුයි.

රට බඩු මරු වගේ එකක්. අමෙරිකානු ටෙලි සීරීස් බලලා මරු කියන කට්ටිය ඒ විදියේම ලංකාවේ වැඩවලට ගරහන ගතියක් මෙහේ තියෙනවා. සිංහලෙන් ආවොත් අවුල්. රට භාෂාවකින් ආවොත් නියමයි කියන අයත් ඉන්නවා. පුරුද්ද නිසා එහෙම වෙනවා ඇති. එකම දෙයක් වචන දෙකකින් එක දේකට ඇබ්බැහි වෙලා වගේ ගතියක්. ඒක, ඇපල් ෆෝන් එකක් පාවිච්චි කළ කෙනකුට සැම්සුන් එකකදී දැනෙනවා වහේ නුහුරක්. මෙහේ විශ්වවිද්‍යාලවලදීත් මං එහෙම අත්දැකීම් ලැබුවා. ඒ අය ඇඩ්වාන්ස්නේ. ලෙක්චර්ස් අතරෙදිත් එළියට යනවා. එනවා. එක්කෝ වරු ගණන් එන්නේ නැහැ. ඒත් පිටරට එහෙම නැහැ. ඉතින්, දැනුමක් බෙදා දෙන්න බැරි තැන්වලට ගිහින් මොකටද? ඒකයි වෙනස.

චන්ද්‍රන් රත්නම් ඔබ ගැන නිතර කතා කරනවා?

ඔව්. උඹ හරියන්නේ හොලිවුඩ්වලට කියලා ඔහු මට කියනවා. ලෝකයේ ඉන්න ප්‍රවීණම හොලිවුඩ් නිර්මාණකරුවන් මෙහේ ගෙන්වාගෙන වැඩ කරන්න පුළුවන් කෙනා ඔහුයි. ඒත් සමහරු නම්, ඒකට අකමැති ගාණයි. මාතා බලලා පොලිටිකල් පැත්තෙන් නැතුව ඒ වැඩේ හොඳයි කියලා චන්ද්‍රන් රත්නම් මට කිව්වා.

ඔබේ දෘශ්‍ය ප්‍රයෝග හැකියාවට මොකද වුණේ?

ඒ ගැන කතා කරන්න වටිනවා. අපි තියෙන සම්පත්වලින් වැඩක් කළාම ඒ ගැන මාත් එක්ක පිටරටදී සිනමාව ඉගෙන ගත් මිතුරන් හුඟක් වෙලාවට අදහස් දක්වනවා. ඒ අය පුදුමය පළ කරන අවස්ථාත් තියෙනවා. ඒත් අපේ අය වැඩි දෙනෙක් තව වැඩක් එක්ක ගළපනවා. අරක වගේ නැහැනේ අරෙහෙ මෙහේ කියනවා. මගේ රූමස්සල ළඟින් ළාවට OUTSIDER යනවා. ඒත් මේක ඒක වැඩි දියුණු කිරීමක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT