මාහෝ මධ්‍ය විද්‍යාලයට එන්.ආර්. උක්කුවා පැමිණියේ ශිෂ්‍යත්වය සමත්වය. සයිමන් නවගත්තේගම වෙන්නට කලින් ඔහු උක්කුවාගේ සයිමන් බවට ද අවසානයේ ගමේ නමින් සයිමන් ද විය. මේ කතා කරන්නේ පනහ – හැට කාලය ගැනය. ශිෂ්‍යත්වය පාස්වීම කියන්නේ, ජීවන ඉරණම හොඳ පැත්තට කරකවා ගැනීමට මාර තල්ලුවකි. පාස් නොවී වැඩේ ගොඩදා ගත් ඊටත් වඩා පිරිසක් සිටින හෙයින් ෆේල් වුණා කියා, අවුලක් ද නැත. සයිමන්ගේ උපන්දිනය යෙදෙන අද දින සංදෘෂ්ටිකවාදය වැනි බරපතළ ගණයේ කියැවීම් මත්තෙන් ඔහු දෙස බැලීමට හැකිව තිබියදී, ශිෂ්‍යත්වය වැනි පහේ පන්තියේ කතාවක් මේ තීරුව සඳහා යොදා ගත්තේ, තිස්සමහාරාමය පැත්තේ පහේ පන්තියේ පොඩ්ඩෝ පෙළෙන අවුලක් ගැන පුවතක් නිසාය.
විභාග කියන්නේ තරගයකි. ක්‍රීඩාවේ අරමුණ ජය පරාජය සමසිතින් විඳ ගැනීම කියා ළතෝනි දුන්න ද අපට අවශ්‍ය අනෙක් එකාට පරාජය පිළිබඳව දරා ගැනීම ඉගැන්වීමය. එහෙම මිසක වැඩේ ලොස් කර ගැනීමට, කවුරුත් සීන් එකට එන්නේ නැත. මේ නිසා ශිෂ්‍යත්වය වැනි අම්මලා ද ලියන විභාග සඳහා තරගය වැඩිය. මේ තරගය ගුරුවරුන්ට අමතර ආදායම් මාර්ගයකි. ඒ ගැන අවුලක් නැත්තේය. දන්නා දෙයක් සාධාරණයට විකුණන කෙනා සම්මා ආජීවය නම් ගුණය සපුරන්නේය. එහෙම ගුරුවරු බහුතරයකි. තමන් උගන්වන පාසලේ ළමුන් සඳහා ටියුෂන් පන්තිය ෆ්‍රී කරන ‘සර්ලා – මිස්ලා’ බොහෝය. එහෙම තිබියදී, තිස්ස පැත්තේ, පාසල් ළමුන්ට ගුරුවරු වද දෙන්නේ තමන්ගේ ටියුෂන් පන්තියට එන්නට කියාය.
බිස්නස් එකක් පටන් ගත්තාම එහෙමය. පන්ති කාමරය සඳහා කුලියක් යන්නේය. ලයිට් වතුර බිල් ඇත. මේ ගාන ෂේප් කර ගැනීම සඳහා ‘වැඩි වැඩියෙන් ඔළු ගෙඩි’ වුවමනාය. ටියුෂන් යන්න අධ්‍යාපනයේ තවත් පැතිකඩකි. ගැරහීම පහසු වුවද ටියුෂන් ගුරුවරයා කරන සේවය පහසු නැත. විභාග තරගය හේතු කරගෙන ඇති වූයේ වුවද, ටියුෂන්, අපේ අධ්‍යාපනය සඳහා විසල් මෙහෙයක් කර තිබේ. පන්ති කාමරයේ ගුරුවරයා ‘වැදූ මව මෙන්’ වෙද්දී, හැදූ මව වන්නේ ‘ටියුෂන් ගුරුවරයාය. ගුරු සේවය මුදලට විකුණන්නේ යැයි ගැරහුම් අසමින්, සල්ලි නොව අධ්‍යාපනයට ඒ පිරිස මුල් තැන දෙන්නේය. ෆ්‍රී කාඩ් දෙන ප්‍රමාණය දන්නේ ඒ ගුරුවරයා පමණය. පන්තියට පැමිණ කාඩ් එක නැතැයි කියනා පිරිස් එමටය. ඒ බලෙන් ගන්නා ෆ්‍රී කාඩ්ය. ගෙදරකට ඇවිත් උගන්වන ගුරුවරයා වෙත මධ්‍යම පන්තියේ අම්මා තාත්තා මාසයේ නියමිත දිනට සල්ලි දෙන්නේය. මූණට මුලිච්චි වෙන හෙයින් ඒවා මඟ හරින්නට බැරිය. එසේම ගෙදරට ගුරුවරයා ගෙන්වා ගන්නේ එහෙම වත්කමක් ඇති කෙනාය. ඒ වුණාට දෙසිය තුන්සියය සිටිනා පන්තිවලට යන්නේ, අපේ ‘පන්තියේ’ එකාය. මාසේ අන්තිමට ගෙදරට හාල් පොල් අරගෙන බිල් ටික ගෙවා, ණය තුරුස් පියවූ කල්හි, රිම් එකෙන් නොව, ස්පෝක්වලින් යන තරමට නට්ටන් වෙන පවුලකට, දරු දෙදෙනෙකුගේ ‘ක්ලාස් ෆීස්’ මහමෙරකි. එහෙම ‘පාරිභෝගික පිරිසක්’ සමඟ ඔය බිස්නස් එක කරගෙන යනවා කියන්නේ සෙල්ලම් නැත. එසේ ඇති ටියුෂන් අධ්‍යාපනය තවම ජනතාව අතර අවුලකින් තොරව පවතින්නේය. එකෙක් දෙන්නෙක් ඉඳගෙන, ඒ නම ද සවුත්තු කිරීමට තනන බව තිස්සමහාරාමයේ උදාහරණය කියාපාන්නේය.
ශිෂ්‍යත්ව ටියුෂන් පන්ති පවත්වන ඒ ගුරාගේ ක්ලාස් එකට අනිවාර්යයෙන් එන්නැයි, හේ සිය පාසලේ පන්තියේ ළමුන්ට බල කර ඇත්තේය. එහෙම ගුරාලා නිසා මධ්‍යම පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පළාතේ, ගුරුවරුන්ට සිය පන්තියේ දරුවන්ට ටියුෂන් පන්ති පැවැත්වීම තහනම් කළේය. මේවා නීති දමා කළ යුතු ඒවා නොවේ. හිතාමතාම බොහෝ ගුරුවරු තම පන්තියේ දරුවනට නොමිලේ උගන්වති. සමහර ගුරුවරු ඩේටා බිල ද අතින් ගෙවා, දරුවනට රෑ වෙනතෙක් ඔන්ලයින් ක්ලාස් කරති. එකෙක්ගේ වැරැද්දට, යායම පලු ගැසීම ‘ජාතික ප්‍රතිපත්තිය’ හෙයින් බහුතරයක් වූ හොඳ මිනිස්සුන් බැණුම් ඇසිය යුතු නැත.
මේවා විධිමත් කිරීම සඳහා අලුතෙන් පන්ති පැවැත්විය යුතු නැත. ඒවා තමන් හිතා මතා ඇති කර ගත හොත්, ෆීල්ඩ් එකට ද හොඳය. ඒ නිසා එහෙම අවුල් බුවාලා, ෆීල්ඩ් එකේ සිටින්නේ නම්, ඒ ගැන හෙළිදරවුව ද ෆීල්ඩ් එකම භාර ගන්නේ නම් මැනවි.
සයිමන් නවගත්තේගම අද වන් දිනක උපන් බැවින් ඒ ‘සාහිත සේසත’ පිළිබඳව ද මේ තීරුව සංවේදීය. ඒ මහතා නවකතා ආඛ්‍යානය වූ කලී සිංහල ලිවීමේ කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් මතු කළේය. සංසාරය නම් වූ බෞද්ධ දෘෂ්ටියේ, නවගත්තේගම සැරිසැරීම ජාතක කතාවේ කතා රටාවට මුළුමනින්ම වෙනස් වුවද, එය දිව යන්නේ ඒ වටාය.
සයිමන් නවගත්තේගමගේ නවකතා ශානරය මනුෂ්‍යත්වය විෂද කරනුයේ දාර්ශනික පර්ෂදයේ හිඳිමිනි. “ඔහුට පැවත්මක් විය. එසේ ම පැවත්මක් නොවීය. ඔහු මනුෂ්‍යයෙකු වූයේය. එසේ ම මනුෂ්‍යයෙකු නොවූයේ ය. ඔහු කවුදැයි කිසිවෙකුට කිව නොහැකිය. ඔහු හැඳින්විය හැක්කේ “විශ්වයේ ස්වභාවය ” යනුවෙන් පමණකැයි මම සිතමි.” ඔහුගේ මරණය නිමිත්ත කරගෙන සුමන ආලෝක බණ්ඩාරයෝ ලියා තැබූහ. සයිමන් ශානරය වනාහි කියවීමේ වර්ගඵලයට එහා ගොස් කිහිපවරක් සිතීම අබියස අප රඳවා තැබූ ‘සෝම පානයකි’.
සරසවි අධ්‍යාපනය එපා කියා, පේරාදෙණියෙන් පැනගොස් ඔහු කැලෑ වැදුණේය. එහෙම තැනකට මේ පරපුර යවා ගත යුතු නැත. අර ජාතියේ ටියුෂන් ගුරාලා සිතනු ඇත්තේ, මේ විදිහට බල කර පාසල් ශිෂ්‍යා ද කැලෑ වැද්දීමට විය යුතුය. ඒ සෑම තැනම සයිමන්ලා මතු නොවෙති. ඒ නිසා අධ්‍යාපනය විෂයෙහි පරිස්සම් විය යුතු බව අවධාරණයෙන් අදට නිමියැ.