Monday, April 7, 2025
Home » ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා දෙගුණ කෙරේ

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා දෙගුණ කෙරේ

by yasara
September 15, 2023 3:08 pm 0 comment

මේ වසරේදී, කොරියානු රැකියා සඳහා බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු තානාපති ලී මියොන් ඇතුළු දූත පිරිසක් අතර ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.

මෙහිදී කොරියානු භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථා හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය, කෘෂිකර්මය, අධ්‍යාපනය සහ තොරතුරු තාක්‍ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහායටත්, කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙළටත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්තුතිය පළ කළේය.

තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා තවදුරටත් කොරියානු රජයේ සහාය බලාපොරොත්තු වෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එම යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සළකා බලන බව සඳහන් කළ කම්කරු අමාත්‍ය  ලී ජුන්ග්සික් පැවසුවේ මෙම ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී කොරියානු භාෂාව උගන්වන ශ්‍රී ලංකාවේ ආයතන සහ විශ්වවිද්‍යාල නැරඹීමේ අදහසක් තමන්ට ඇති බවයි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවිය  හැකි බව කී ඒ මහතා මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය කෙරෙහි කොරියානු ආයෝජන වැඩි කළ යුතුව ඇතැයිද කීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොරියානු තානාපති ලී මියොන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, කොරියානු කම්කරු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කිම් එන්චුල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT