තාත්තා සහ අයියා එකතු වී ගේ ඇතුලේ සිටි මල්ලිට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් මැදවච්චිය, කනදරා දිව්ල්වැව ගම්මානයෙන් වාර්තා වෙයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි එම නිවසේම පදිංචි එක් දරු පියෙකි.
මෙම ඝාතනය සිදු කළ පියා කපුරුබණ්ඩාගේ විජේසිංහ නැමැති ට්‍රැක්ටර් කාර්මික ශිල්පියෙක් වන අතර ඝාතනය සිදු කළ වැඩිමහල් සොහොයුරා පැවිදි වී සිට සිවුර හැර විත්,පෙදරේරු රැකියාවක් සිදු කරන 28 හැවිරිදි සජිත් සචෙන්තන විජේසිංහ නැමිති තරුණයෙකි.
ඊයේ(14) දින රාත්‍රී 10.45 ට පමන පුද්ගලික ගැටළුවක් මුල් කර ගනිමින් මෙම මිය ගිය පුතා සහ වැඩිමහල් සොහොයුරාත් පියාත් අතර බහින්බස්වීමක් සිදුව ඇත.
මිය ගිය පුද්ගලයාගේ උපන්දිනයද ඊයේ දිනට යෙදී තිබුණ අතර මිතුරන් සමග එම සාදයත් පවත්වා මෙම මියගිය පුද්ගලයා නිවසට පැමිණ ඇත.
අනතුරුව පියාත් සමග ඇති කර ගත් බහෙන් බස් වීම දුර දිග ගොස් අයියා සහ පියා එකතු වී තම සැමියාව ඇදේ තිබූ බුරුත පොල්ලකින් සහ උදලු මිටකින් ගසා ගේ ඇතුලේදීම ඝාතනය කළ බව මිය ගිය පුද්ගලයාගේ බිරිද මැදවච්චිය පොලිසියට පවසා ඇත.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගැනීමට මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි .බී රත්නායන මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේම කටයුතු කර ඇත.
සැකකරුවන් පිළිබඳව වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරයි.