ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැළපුම් දීමනාව වැටුප් වර්ධකයක් ලෙස ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.
ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානය යොමු කළ අතර එහිදී මේ බව අනාවරණය විය.
අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූ අතර, ගුරු උපදේශක සේවයේ ගැටලු පිළිබඳව සාකච්ඡාවක් පසුගිය අගෝස්තු මස 11 වැනි දින ද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති අතර, අදාළ ගැටලුව සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් එම කරුණු පිළිබඳව නැවත සාකච්ඡා කළ යුතු බවට ගන්නා ලද තීරණය අනුව මෙම රැස්වීම කැඳවා තිබිණ.
ඒ අනුව, ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහි ලේකම් එම්. එන්. රණසිංහ මහතා විසින් කාරක සභාව වෙත කරුණු ඉදිරිපත් කළේය. අධ්‍යාපන අමාත්‍යවරයා ද මේ පිළිබඳ සිය අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව මේ පිළිබඳ අවස්ථා දෙකක දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්‍වයෙන් සාකච්ඡාවන් පැවති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැළපුම් දීමනාව වැටුප් වර්ධයක් ලෙස ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දෙන ලදි.
අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් වන විමලවීර දිසානායක, රෝහිණි කුමාරි විජේරත්න, කුලසිංහම් තිලීපන්, අසංක නවරත්න, මුදිතා ප්‍රිශාන්ති, මායාදුන්න චින්තක අමල්, මංජුලා දිසානායක, (මහාචාර්ය) චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාරක සභාවට සහභාගි වූහ.
එසේම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ජේ. සී. අලවතුවල, කපිල අතුකෝරල, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත මෙම රැස්වීමට සහභාගි වූහ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ සියලු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගි වූ අතර ගුරු උපදේශකවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිත පිරිසක් ද මෙම රැස්වීමට සහභාගි විය.