Monday, April 21, 2025
Home » මට කළ අපහාසයට අද CIDයට යනවා

මට කළ අපහාසයට අද CIDයට යනවා

අල්ලස් කොමිසමටත් පැමිණිලි කරනවා

by mahesh
September 15, 2023 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක සහ නදීශානි සඳුනි

මිලියන 500ක වන්දි ඉල්ලා එන්තරවාසියකුත් යවනවා

තම ජීවිත කාලය තුළ කිසියම් හෝ වංචාවකට, අක්‍රමිකතාවකට හෝ සොරකමකට සම්බන්ධ යැයි ඔප්පු කරන්නේ නම් ඇමැතිකමේ පමණක් නොව දේශපාලනයෙන් ද සමුගන්නා බවට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අභියෝග කරයි.

ප්‍රවාහන ඇමැතිවරයා ඉතාම දූෂිත පුද්ගලයෙක් බවටත් වංචාකාරී පුද්ගලයකු බවටත් සඳහන් කොට රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් ඉන්දියානු සමාගමක් වෙතින් ලබාගෙන තිබෙන බව පවසමින් එක්තරා වෘත්තීය සමිතියක තනතුරක් නොදරන පුද්ගලයකු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ප්‍රකාශයක් කර තිබෙන බවද හැකිනම් එවැනි වංචාවක් කර තිබෙන බවට ඔප්පු කර පෙන්වන්නැයි ඒ මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (14) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

‘මට එරෙහිව මේ අභූත චෝදනා එල්ල කරන්නේ රජයේ සේවකයෙක්, දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට රියදුරෙක්. මේ පුද්ගලයා වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණවලට ලක් වෙලා ඉන්න කෙනෙක්, අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැමිණිලි තියන කෙනෙක්.

මේ අභුත ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා මං අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාටත් කියනවා.

ඒ වගේම පොලිස්පතිතුමාටත් කියනවා මේ ගැන පරික්ෂණයක් කරන්න කියලා.

අල්ලස් හා දූෂණ කොමිසමට ලියවිල්ලක් භාර දෙනවා මේ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් කරලා ඉතාම කෙටි කාලයකදී රටට මේ පිළිබඳ නිවැරදි, සත්‍ය තොරතුර හෙළිදරව් කරන්න කියලා.

මගේ නීතිඥවරුන්ට උපදෙස් දෙනවා මට කළ අපහාසයට එරෙහිව ඉතාම ඉක්මනින් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවන්න කියලා. ඒ මුදල මට ලැබුනොත් “ප්‍රඥා බන්දු” අරමුදල තව ප්‍රමාණයකින් වැඩි කරලා තව වැඩි පිරිසකට ශිෂ්‍ය ආධාර දෙන්න පුළුවන්” යැයි ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“අද දින පෞද්ගලික මාධ්‍ය නාලිකාවකින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිම වෘත්තීය සමිතියක තනතුරක් නොදරන පුද්ගලයකු විසින්, ප්‍රවාහන ඇමැතිවරයා ඉතාම දූෂිත වංචාකාරී අයෙක් බවටත්, කෝටි 5කට ආසන්න මුදලක් ඉන්දියානු සමාගමකින් ලබාගත් බවටත් අසත්‍ය, ද්වේෂ සහගත, නින්දිත අපහාසාත්මක ප්‍රකාශයක් මාධ්‍යයක් හරහා කරලා තියෙනවා.

ඒ නිසා මම මාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා වශයෙන් සියලුම නාළිකාවලින් ඉල්ලා සිටින්නේ තමන්ගේ විෂයභාර අමාත්‍යවරයාට නෙමෙයි රටේ කවර පුරවැසියෙක්ට වුවත් වගකීමකින් තොරව කිසියම් පුද්ගලයකු කරන ප්‍රකාශනවලට ප්‍රවෘත්තිමය වැදගත්කමක් ලබා දෙන්න එපා කියලයි.

ඔහු කියනවා වෘත්තීය සමිති වර්ජනය අවසන් කියලා. එතකොට මේ වර්ජනය මෙහෙයවලා තියෙන්නේ මොහු. මොහු කවුද ? අපි දන්න දුම්රිය රියදුරන්ගේ සංගමය විදිහට එහි සභාපතිවරයෙක් ලේකම්වරයෙක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාට අපි මීට සති ගාණකට පෙර මේ ජනමාධ්‍ය අමාත්‍යංශයේම සියලුම වෘත්තීය සමිති කැඳවලා කීවා ඔබතුමාන්ලාගේ ඉල්ලීම් වෙනුවෙන් උසස්වීම් ලබාදීමේ ක්‍රියාපටිපාටිය වෙනුවෙන් අරන් තියන ක්‍රියාමාර්ග ඔවුන්ට පෙන්නුවා. ඒ සියලුම කැබිනට් පත්‍රිකා පසුගිය කාලයේ දී මා විසින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකා.

එහිදී තුන්වැනි ශ්‍රේණියේ තාක්ෂණික නිලධාරීන්ට 2015 වර්ෂයේ සිට දෙවැනි ශ්‍රේණියට පත් වීම සඳහා අවුරුදු 10ක කාලයක් ගත වෙනවා. ඒ අවුරුදු 05කට කලින් තියෙන තත්ත්වය අඩු කරන්න අපි ගන්න පුළුවන් උපරිම උත්සාහයක් ගත්තා. රාජ්‍ය සේවා කොමිසමට කිව්වා. ඒ රාජ්‍ය සේවා ප්‍රතිපත්ති මුළු රටේම දෙපාර්තමේන්තුවට බලපාන නිසා සහ වෙනස් කළ නොහැකියි කියලා කීවා. ඒ අවස්ථාවේ වෙනස් කරන්න පුළුවන්ද කියලා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. කැබිනට් මණ්ඩලය කිව්වා රාජ්‍ය සේවා කොමිසමට බලපෑම් කරන්න කැබිනට් මණ්ඩලයට අයිතියක් නොමැති බව.

ඒ පිළිබඳ ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රජයේ ආයතනය පිළිබඳ අනුකරණ සභාවේ සමිතිවලට එන්න කියලා නියම කරලා තිබුණා. ඒ කාරණාවට විකල්ප මාර්ගයක් සොයන්න පුළුවන් ද කියලා බලන්න. නමුත් සඳුදා ඇවිල්ලා මේ වෘත්තීය සමිති මට කිවුවා රියදුරන්ගේ වෘත්තිය සමිති අපිට පාලනය කර ගන්න බෑ. උසස් වීම් සම්බන්ධව අද වර්ජනයක් කරනවා කියලා. අහිංසක මිනිසුන්ගේ ජන ජීවිත අසරණ වෙන නිසා වැඩවර්ජනයක් කරන්න එපැයි කියලා මම ඉල්ලා සිටියා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ 14,000ක්-15,000ක් වැඩට ඉන්නවා. දුම්රිය රියදුරන් වැඩි ප්‍රමාණයක් දුම්රිය ධාවනය කළා. නියාමකවරු සියලු දෙනා වැඩ කළා. ස්ථානාධිපතිවරු සියලු දෙනා වැඩ කළා. තාක්ෂණික නිලධාරීන් සියලු දෙනා වැඩ කළා. 84 දෙනෙක් පමණක් මේ තැනැත්තාගේ ඉල්ලීම මත වෙන්න ඕනෙ මේ වර්ජනය කළේ. මොකද ඔහු තමයි මෙය අවසන් කළ බවට නිල ප්‍රකාශය මාධ්‍යට දෙන්නෙ.

වටිනා මනුස්ස ජීවිතයක් නැති වුණා මේ අසාධාරණ අයුක්තිසහගත වෘත්තිය සමිති ත්‍රස්තවාදය නිසා. මං ඒ පිළිබඳ රටට කිවුවා. අපි සාධාරණ ලෙස විසඳන්න මැදිහත් වුණා. නමුත් මෙය කරන්න බැරි යම්කිසි යටි බලවේගයක අරමුණ මත බව. මේ තැනැත්තට විරුද්ධව අතිකාල දීමනා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් අමාත්‍යාංශයේ පැවැත්වෙනවා. අල්ලස් හා දූෂණ කොමිසමේ පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඇල්ල ඔඩිසි දුම්රියට සමාන මිලේනියම් දුම්රිය කියලා ව්‍යාපෘතියක් පටන් අරන් විදේශවලට මුදලට ටිකට් අලෙවි කලාද යන්න පිළිබඳ සහ ඒ ව්‍යාපෘතිය කෙසේ කලාද කියන එක පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් පවත්වනවා. ඒකට සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අදාළ බලධාරීන් සාක්ෂි දීලා තියනවා.

මම මගේ ජීවිත කාලය තුළ දී වංචාවකට, දූෂණයකට, අක්‍රමිකතාවකට, හොරකමකට සම්බන්ධයි කියලා නිල වශයෙන් ඔප්පු වුණු දවසට මම ඇමතිකම්, මන්ත්‍රීකම් පමණක් නොවේ ලාංකීය දේශපාලනයේවත් එක දවසක්වත් ඉන්නේ නෑ කියලා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT