මහනුවර කටුගස්තොට ප්‍රධාන මාර්ගයේ මහයියාව ප්‍රදේශයේ දේපොළ වෙළෙඳාම් පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් නිවාස ඉදිකර දෙන බව පවසමින් පුද්ගලයින් රැසක් රවටා රුපියල් කෝටි 05ක පමණ මුදලක් වංචා කර සැඟව සිටින අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
සැකකාර යුවළ දේපොළ වෙළෙඳාම් ආයතනයට සමගාමීව අධ්‍යාපන ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. කටුගස්තොට ප්‍රදේශයේ කුලී නිෙවසක පදිංචිව සිට ඇති මෙම අඹුසැමි යුවළ ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගත් රුපියල් කෝටි ගණනක මුදල් ද රැගෙන මේ වන විට පදිංචි නිවස අතහැර ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
සැකකාර අඹුසැමි යුවළ මුතුතන්ත්‍රිගේ ජූඩ් ප්‍රනාන්දු සහ ශ්‍රීමති තිස්සකුමාරි බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම යුවළ ව්‍යාපාරය ආරම්භ කළ මුල් සමයේ ගනුදෙනුකරුවන්ට හොඳ සේවාවක් ලබා දී විශ්වාසය ගොඩනඟා ගැනීමෙන් පසුව මුදල් වංචා කිරීමට පටන් ගෙන තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ. ඉතා සුන්දර ස්ථානවල පිහිටි ඉඩම්වල ඉදිකිරීමට යෝජිත නිවාස සැලසුම් පාරිභෝගිකයින්ට පෙන්වා වැඩ නිම කිරීමෙන් පසු අදාළ නිවාස ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ ගණනින් ඔවුන්ගෙන් අත්තිකාරම් ලබාගෙන මොවුන් පලා ගොස් තිබෙන බව පොලිසිය පවසයි.
සැකකාර යුවළ ගනුදෙනුකරුවන්ට පෙන්වා ඇති ඉඩම් වෙනත් පුද්ගලයින්ට අයිති ඒවා යැයි ද වාර්තා වේ. මේ වන විට මෙම වංචාවට අසුවූ පුද්ගලයින් 09 දෙනෙකු මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබෙන අතර, ඔවුන් සැකකරුවන්ට ලබා දී තිබෙන මුදල රුපියල් කෝටි 05කට ආසන්නය. සැකකාර යුවළ මහනුවර මහයියාවේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය දෙමහල් ගොඩනැගිල්ල කුලියට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුනක පමණ මුදලකට බව දැන ගන්නට තිබේ. පැමිණිලිකරුවන් අතර රුපියල් කෝටියක අත්තිකාරම් මුදලක් ලබා දුන් අය ද සිටින බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.