Monday, April 21, 2025
Home » තරුණයාව ඉස්සූ ඩිෆෙන්ඩරයේ අයිතිකරු හිරුණිකා

තරුණයාව ඉස්සූ ඩිෆෙන්ඩරයේ අයිතිකරු හිරුණිකා

පැහැරගත්තැයි කියන 8ක් වරද භාරගෙන

by mahesh
September 15, 2023 1:02 am 0 comment

රෝෂන් තුෂාර

– නීතිපති මහාධිකරණයට කරුණු දන්වයි

තරුණයකු පැහැර ගැනීමට යොදා ගත්තේ යැයි කියන කළුපාට ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බව කොළඹ මහාධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා ඊයේ (14) පැවසීය.

රථය භාවිත කරමින් තරුණයා පැහැරගත්තේ යැයි කියන පුද්ගලයින් අට දෙනකු නඩුවේ චෝදනා පිළිගනිමින් වරද බාරගෙන ඇති බවද කොළඹ මහාධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසීය.

එම නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව විභාග වන මෙම නඩුව සඳහා එම සාක්ෂි නැවත නැවත කැඳවීම අවශ්‍ය නොවන බවත්, විත්තිය එම කරුණු පිළිගන්නේ නම් නඩුව කඩිනමින් විසඳීමට හැකි බවත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

තරුණයකු පැහැරගෙන යෑමට ආධාර අනුබල දුන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ බණ්ඩාර මහතා එම කරුණු ඉදිරිපත් කළේය.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි. ජාතික රූපවාහිනියේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. කාරියවසම් මහත්මිය සාක්ෂි දෙමින් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාවක් සිය නාළිකාවේ විකාශය කළ බව සඳහන් කළාය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ ඊයේ පෙනී සිටියාය. අමිල ප්‍රියංග අමරසිංහ තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යෑම, ඊට ආධාර අනුබල දීම, සාපරාධී පැහැරගෙන යාම සහ බිය ගැන්වීම යන දණ්ඩනීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු වරදවල් සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පැවරීය.

2015 නොවැම්බර් 21 හෝ ඊට ආසන්න දිනකදී තවත් පුද්ගලයින් අට දෙනකු සමඟ මෙම වරද සිදු කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. නඩුවේ වැඩිදුර විභාගය ලබන 04 දින සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT