Sunday, April 20, 2025
Home » අගමැති – බැසිල් හමුවක්

අගමැති – බැසිල් හමුවක්

by chanaka
September 15, 2023 12:04 pm 0 comment

ඉදිරි අයවැයේදී ජනතා සුභසාධන හා සහන සැලසීම සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කරන මෙන් මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ අතර පසුගියදා (13) පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නියෝජිතයන් අතර කොළඹදී මේ සාකච්ඡාවක් පැවැත්විණි. ඊට මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්වරුන් එක්ව සිටියහ.

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාව හා අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි වඩාත් සහන සලසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති බව මෙහිදී සාකච්ඡා කෙරිණි.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සන්ධානගත දේශපාලනයේ දායකත්වයන්, ජනතා සුබසාධන පහසුකම්, ජීවන බර හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම,රාජ්‍ය ආයතනික තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සහ සේවකයන් සමඟ ඇතිවිය යුතු කතිකාවත්, ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු, සේවක අයිතිවාසිකම්, අස්වැසුම හා සමෘද්ධි සහනාධාරය පිළිබඳව ඇති ගැටලු, ඖෂධ ප්‍රශ්නය ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු, මැතිවරණ ක්‍රමය, සහ තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු විවිධ අණපනත් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.

අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව කෙමෙන් අඩු කිරීමට නීතියෙන් නියම වී ඇති නිසා සමෘද්ධි සහනාධාරය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුව ඇති බවද පක්ෂ දෙකේ නියෝජිතවරු අවධාරණය කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම් චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න, මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස ජයවර්ධන යාපා, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, දේශපාලන මණ්ඩල සභිකයන් වන විජය රත්නායක, මහානාම සමරනායක මහත්වරුන් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT