ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය.
ගුරු උපදේශක සේවයේ ගැටළු පිළිබඳව සාකච්ඡාවක් පසුගිය අගෝස්තු මස 11 වැනි දින ද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වූ අතර අදාල ගැටළුව සම්බන්ධ සියළු පාර්ශ්වයන්ගේ සහභාගීත්‍වයෙන් එම කරුණු පිළිබඳව නැවත සාකච්ඡා කල යුතු බවට එහිදී එළැඹි තීරණය අනුවමෙම රැස්වීම කැඳවා තිබුනි.
ඒ අනුව, ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහි ලේකම් එම්.එන්. රණසිංහ මහතා විසින් කාරක සභාව වෙත කරුණු ඉදිරිිපත් කළේය.
අධ්‍යාපන අමාත්‍යවරයාද මේ පිළිබඳ සිය අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව මේ පිළිබඳ අවස්ථා දෙකක දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්‍වයෙන් සාකච්ඡාවන් පැවති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව වැටුප් වර්ධයක් ලෙස ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දෙන ලදී.
තවද, ගුරු උපදේශක පොදු කාර්ය භාරය පිළිබඳ උපදෙස් සැකසීමට අවශ්‍ය පියවර මේවන විටත් ගෙන ඇති බවත් මෙහිදී කරුණු අනාවරණය විය. එසේම, ගුරු උපදේශකවරුන් කළාපීය තාක්‍ෂණික කමිටුවල සාමාජිකයෙකු ලෙස එම කමිටු රැස්වීම් සඳහා සහභාගී වීමේ අවස්ථාව ලබා දෙන ලෙස ගුරු උපදේශකවරුන් විසින් සිදු කරන ලද ඉල්ලීමට අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් දැක් වූ බවද මෙහිදී අනාවරණය විය.
ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව වැටුප් වර්ධයක් ලෙස ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලබා ගැනීම පිණිස යෝජිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරක සභාවේ සභාපති විසින් පැමිණ සිටි නිලධාරීන්ට නිර්දේශ කරන ලද අතර, ඒ පිළිබඳව වාර්තාවක් මසක කාලයක් තුල කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.
අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් වන විමලවීර දිසානායක, රෝහිණි කුමාරි විජේරත්න, කුලසිංහම් තිලීපන්, අසංක නවරත්න, මුදිතා ප්‍රිශාන්ති, මායාදුන්න චින්තක අමල්, මංජුලා දිසානායක, (මහාචාර්ය) චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාරක සභාවට සහභාගී වූහ.
එසේම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ජේ. සී. අලවතුවල, ගරු කපිල අතුකෝරල, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත මෙම රැස්වීමට සහභාගී වූහ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ සියළු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ අතර ගුරු උපදේශකවරුන්ගේ වෘත්තීය සමිති නියෝජිත පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී විය.