Sunday, April 20, 2025
Home » දිඹුලාගල විදුලි බිල ගෙවීමට බැංකු ගිණුමක් අරඹයි

දිඹුලාගල විදුලි බිල ගෙවීමට බැංකු ගිණුමක් අරඹයි

by mahesh
September 13, 2023 1:00 am 0 comment

සිරිපුර - මධුෂානි අබේසිංහ

ලක්වැසි, ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ඉල්ලීමට අනුව ඉතිහාසයේ පළමුවරට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල ගෙවීමට බැංකු ගිණුමක් ආරම්භ කළ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ ඊයේ(12) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළහ.

සාමණේර භික්ෂුන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා මෙන්ම ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් වැඩ වාසය කරන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමත් සමඟ එය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් ලක්වාසී ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් කම්පාවට පත් වූ බව ද නාහිමියෝ පැවසූහ.

ඒ අනුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මාසිකව ලැබෙන විදුලි බිල දායක, කාරකාදීන් විසින් පියවීම සඳහා ලංකා බැංකුවේ කදුරුවෙල ශාඛාවේ 91523020 අංකය යටතේ ගිණුමක් විවෘත කිරීමට පියවර ගත් බව ද චේතියාලංකාර නාහිමියෝ පැවසූහ.

රජය මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් මේ විදුලි බිල්පත් අරමුදල ආරම්භ කළ බවත්, දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට තිබුණේ රුපියල් ලක්ෂ පනස්හතක් නොව රුපියල් ලක්ෂ තිස්හතක විදුලි බිලක් බවත්, ලක්ෂ 57ක හිඟ මුදලක් විදුලිබල මණ්ඩලයට පියවීමට ඇති බවට මාධ්‍ය මඟින් පළ වූයේ තම ආරණ්‍ය සේනාසනයේ විදුලි බිල්පත් සම්බන්ධ වැඩ කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමකගේ වැරදීමකින් බවත්, ඊට සමාව අයදින බවත් නාහිමියෝ පැවසූහ.

එම හිඟ ලක්ෂ 37ක විදුලි බිලෙන් රුපියල් ලක්ෂ පහක මූලික ගෙවීමක් සිදුකර ඉතිරි මුදල මාසිකව රුපියල් ලක්ෂය බැගින් ගෙවීමේ පදනම අනුව යළි දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට විදුලිය ලබා දීමට මැදිහත් වූ මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම,විදුලි බල ඇමැති කංචන විජේසේකර මහත්වරුන් ඇතුළු සියලු දෙනාට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පුණ්‍යානුමෝදනාව හිමිවන බවත්, මින් ඉදිරියට ආරණ්‍ය සේනාසනයට ලැබෙන මාසික විදුලි බිල පියවීමට විහාරස්ථානයට ලැබෙන ආධාර මුදල් සහ බෞද්ධ දායක කාරකාදීන්ගෙන් විදුලි බිල්පත් අරමුදලට ලැබෙන මුදල් ආධාර එක්රැස් කර ගනිමින් ඉදිරි විදුලි බිල් හිඟයකින් තොරව අඛණ්ඩව පියවීමට කටයුතු කරන බවද නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT