Saturday, April 19, 2025
Home » ක්‍රීඩා සංගම්වල නිලතල ප්‍රශ්න පිළිබඳ අභියාචනා කමිටුවට නඩු ගොඩක්

ක්‍රීඩා සංගම්වල නිලතල ප්‍රශ්න පිළිබඳ අභියාචනා කමිටුවට නඩු ගොඩක්

පාපන්දු නඩු විභාගය අද: කබඩි නිලවරණය කල් දමයි

by mahesh
September 13, 2023 1:01 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා සම්මේලනවල නිලවරණ කටයුතු සම්බන්ධ පැමිණිලි රැසක් ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව වෙත ලැබී ඇති අතර, එම පැමිණිලි විභාග කිරීම අද සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා සම්බන්ධව අභියාචනා කිහිපයක් ලැබී ඇති අතර, ඒවා අද පස්වරු 3ට විභාග කිරීමට අභියාචනා උපදේශක කමිටුව කටයුතු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා එහි නාමයෝජනා සම්බන්ධ අභියාචනා විභාග කිරීම ද කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට නාමයෝජනා ලබාදී සිටි අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා උප සභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන මහත්ම මහත්මීන්ගේ නාමයෝජනා පාපන්දු නිලවරණයේ අභියාචනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව වෙත වෙන වෙනම පැමිණිලි ලැබී ඇත. එයට අමතරව සභාපති අපේක්ෂක ජස්වර් පාර්ශ්වයට එරෙහිව දක්ෂිත පාර්ශ්වයෙන් එල්ල කරන ලද පැමිණිලි පාපන්දු නිලවරණයේ අභියාචනා කමිටුව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවද ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව වෙත වෙන වෙනම පැමිණිලි සභාපති නාමයෝජනා ප්‍රතික්ෂේප වූ දක්ෂිත සුමතිපාල මහතා හා නිලවරණයේ ඡන්ද අපේක්ෂකයෙකු ලෙස පොල්ගහවෙල පාපන්දු ලීගයේ සභාපති, හිටපු සභාපති අනුර ද සිල්වා මහතා ඉදිරිපත් කොට තිබේ.

එබැවින් මේ පැමිණිලිවලට අදාළ සියලු පාර්ශ්වවලට චෝදනාවලට සම්බන්ධ ලිඛිත තොරතුරු රැගෙන අද ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව වෙත කැඳවා ඇත. එහෙත් චෝදනාවලට ලක්ව සිටින සභාපති අපේක්ෂක ජස්වර් උමර් මහතාගේ පාර්ශ්වය මේ පරීක්ෂණයට පෙනී සිටීම උදෙසා ලබන අඟහරුවාදා දක්වා කල් ඉල්ලා ඇතැයි වාර්තා වේ. පාපන්දු නිලවරණයේ ප්‍රචාරක කටයුතුවල නිරතවී සිටීම හේතුවෙන් හා පැමිණිලි සම්බන්ධ නීති උපදෙස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙසේ කල් ඉල්ලා ඇතැයි පැවසේ. සභාපති තනතුරට නාමයෝජනාදී සිටින ජස්වර් උමර් මහතාගේ පාර්ශ්වයෙන් දක්ෂිත මහතාගේ කණ්ඩායමේ කිසිවකුට විරෝධතා ගොනුකර නැත.

මේ අතර ශ්‍රී ලංකා කඩබි සම්මේලනයේ ලේකම් තනතුරට නාමයෝජනා ලබාදී සිටින ආර්. සහීවන් මහතා විදේශගතව සිටියදී ව්‍යාජ ලෙස නාමයෝජනා ඉදිරිපත් කර ඇති බවට ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව වෙත පැමිණිල්ලක් යොමුව ඇත. එයට අමතරව එම්.ටී.එම්. සුෆාන් මහතා විනිසුරුවකුව සිටියදී නාමයෝජනා ලබාදී ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇත. මේ ආකාරයෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිලවරණයේ අභියාචනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ කිහිප දෙනකු නුසුදුස්සන් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා උපදේශක කමිටුව වෙත පැමිණිලි ඉදිරිපත්වී ඇති අතර, එම පරීක්ෂණ කටයුතු ඉදිරි දිනවල අවසන් කිරීමට නියමිතය. කබඩි සම්මේලනයේ නිලවරණයේ අභියාචනා කමිටුව විසින් ලේකම් තනතුරට නාමයෝජනා ලබාදී ඇති සහීවන් මහතාගේ නාමයෝජනාව නීත්‍යනුකූල බවට හා බ්‍රිතාන්‍යයේ සිට ඉදිරිපත් කළ නාමයෝජනාව නිවැරදි හා පිළිගත හැකි බවට ද සහතිකයක් ලබාදී ඇත.

මේ පිළිබඳ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී පැවසුවේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කරාටේ, රග්බි, ක්‍රිකට් ක්‍රීඩාවලට අදාළ ප්‍රශ්න කිහිපයකට මේ දිනවල විසඳුම් ලබාදෙමින් සිටින බවය. කරාටේ සංගමයට අදාළ ගැටලුවට නීතිමය විසඳුමක් අද දිනයේ ලැබෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT