Home » ඉන්දීය-පාකිස්තාන තරගයට ප්‍රේක්ෂකයන් අඩුවෙයි

ඉන්දීය-පාකිස්තාන තරගයට ප්‍රේක්ෂකයන් අඩුවෙයි

ටිකට්පත් මිල ක්‍රීඩාලෝලීන්ට දරාගන්න බෑ

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

– මුරලිදරන්ගෙන් සත්කාරක පාකිස්තානයට චෝදනා

ඉතිහාසයේ පළමුවතාවට ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගයක් ඉතා අඩු ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරියේ පැවැත්වීමට සිදුවීම පිළිබඳ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් විසින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනයට ලක් කර තිබේ.

පෙරේදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයට ප්‍රේක්ෂකයන් අඩුවීමට හේතුව මෙවර තරගාවලියේ සත්කාරකයන් වන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම තරගය සඳහා අලෙවි කළ ටිකට්පත්වල මිල ඉතා ඉහළ මට්ටමක පැවතීම බව මුරලිදරන් සඳහන් කර ඇතැයි ‘නිව්ස් 18’ පුවත් සේවය වාර්තා කළේය.

“මෙවර ආසියානු කුසලානයට සත්කාරකත්වය සපයන බැවින් එම ප්‍රවේශපත්වල මිල තීරණය කර ඇත්තේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු ඇති කාලයක මේ ටිකට්පත්වල මිල ඇත්තටම ක්‍රීඩාලෝලීන්ට දරාගත නොහැකි අන්දමට හුඟාක් වැඩියි. අන්තිම මොහොතේ ඔවුන් මිල ගණන් පහත දැමුවත්, ඉන් වැඩක් වුණේ නෑ. රුපියල් 6000 සිට ඉහළටයි ටිකට්පත්වල මිල ගණන් සඳහන් වුණේ. ඔබට ක්‍රීඩා මණ්ඩපයේ (grandstands) සිට තරගය නැරැඹීමට රුපියල් 40,000ක සිට 50,000 දක්වා මුදලක් වැය කරන්න සිද්ධවෙලා තිබුණා. ඒක ශ්‍රී ලංකාවේ පුද්ගලයකුගේ මාසික වැටුපට සමාන මුදලක්. මම හිතන්නේ නෑ ලංකාවේ කාටවත් එච්චර මුදලක් වැය කරන්න පුළුවන් කියලා” මුරලිදරන් එසේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අවසන් මොහොතේ ටිකට්පත්වල මිල රුපියල් 500 සහ 1000 දක්වා අඩු කර තිබුණත් හිස් ක්‍රීඩාංගණය ක්‍රීඩාලෝලීන්ගෙන් පිරවීමට ඉන් නොහැකි වූ බව ‘නිව්ස් 18’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ක්‍රීඩාලෝලීන්ට ඉන්දීය – පාකිස්තාන තරගය නැරැඹීමට අවශ්‍යතාව තිබුණ ද, ටිකට්පත්වල මිල දරාගත නොහැකි වූ බව මුරලිදරන්ගේ අදහස වී තිබේ. “ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන හැම අවස්ථාවකදීම ක්‍රීඩාංගණය නිරතුරුවම පිරී ඉතිරෙනවා. ක්‍රීඩාලෝලීන්ට තරග නැරැඹීමට අවශ්‍ය වුණත් ඔවුන්ට ටිකට්පත්වලට ලොකු මුදලක් වැය කරන්න අමාරුයි. පසුගිය සෙනසුරාදා බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිල විශිෂ්ට දස්කම් පෑවත්, ඒ තරගයට පවා වැඩි ක්‍රීඩාලෝලීන් පිරිසක් නොපැමිණීමට හේතුව ඒකයි” ඔහු එසේ සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT