Monday, April 21, 2025
Home » ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 64ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 64ක් ඉදිරියෙන්

by mahesh
September 13, 2023 1:00 am 0 comment

සංචාරක බටහිර ඉන්දීය අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි සිවුදින තරගයේ පළමු දිනය නිමා වන විට ලකුණු 64කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය.

ඊයේ පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 191ක් රැස් කර තිබුණේ කොදෙව් පිල පළමු ඉනිමට රැස් කළ ලකුණු 127ට පිළිතුරු ලෙසිනි.

දිනුර කලුපහන ලකුණු 23ක් සහ ශාරුජන් සන්මුගනාදන් ලකුණු 21ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක සිනෙත් ජයවර්ධන ලකුණු රැස් කිරීමට පෙර දැවී ගිය අතර, පුලිඳු පෙරේරා ලකුණු 41ක් සහ රවිෂාන් ලකුණු 43ක් රැස් කළහ. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රුසඳ ගමගේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 52කදී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 58ක් රැස් කර සිටියදීය.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඉනිම ඇරඹූ ස්ටෙෆාන් පැස්කල් (28) සහ ස්ටීව් වෙඩර්බර්න් (24) පළමු කඩුල්ලට ලකුණු 57ක් එක් කළ අතර, එම සබඳතා බිඳ දැමීමට විහාස් තෙව්මික සමත් විය. අනතුරුව ශ්‍රී ලංකා පන්දු බළ ඇණිය හමුවේ කිසිදු පිතිකරු යුගලයකට පිටියේ ස්ථාවර වීමට අවස්ථාක් නොලැබුණු අතර, හුදෙකලා සටනක නිරත වූ ජෝර්ඩන් ජොන්සන් ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය.

කොදෙව් ඉනිමේදී ලකුණු 10 සීමාව පසු කළ හැකි වූයේ මේ පිතිකරුවන් තිදෙනාට පමණි. පන්දු යැවීමේදී විහාස් තෙව්මික කඩුලු 5ක් බිඳ දැමූ අතර, මල්ෂ තරුපති කඩුලු 3ක් දවා ගත්තේය.

මේ තරගයේදී දිනිරු අබේවික්‍රමසිංහ, කවීෂ පියුමාල් සහ රවිෂාන් පෙරේරා 19න් පහළ ජාතික ක්‍රිකට් තරග වරම් ලබා ගත්හ.

අද තරගයේ දෙවැනි දිනයයි.

කොදෙව් 19න් පහළ පළමු ඉනිම – 127 (ඕවර 36.4) ජෝර්ඩන් ජොන්සන් 52, ස්ටෙෆාන් පැස්කල් 28 (විහාස් තෙව්මික 43/5, මල්ෂ තරුපති 16/3, කවීෂ පියුමාල් 32/1) ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 191/4 (ඕවර 51) රුසඳ ගමගේ 58, රවිෂාන් ද සිල්වා 43, පුලිඳු පෙරේරා 41, දිනුර කලුපහන නොදැවී 23, ශාරුජන් සන්මුගනාදන් නොදැවී 21 (දේශාන් ජේම්ස් 26/1, ඉසායි තෝර්න් 38/1, නේතන් සීලි 53/1)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT