Home » ගම්පහ වැසිදාට අපවිත්‍ර ජලය නිවාසවල

ගම්පහ වැසිදාට අපවිත්‍ර ජලය නිවාසවල

by mahesh
September 13, 2023 1:02 am 0 comment

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

ගම්පහ මහ නගර සභාව අවට පදිංචි පාරම්පරික නිවෙස් හිමියන්ට වැසිදාට රාත්‍රී කාලවලදී නොනිදා සිටීමට සිදුව ඇතැයි එම නිවෙස් හිමියෝ පවසති.

ගම්පහ, මේරි බිසෝ මාවතේ පළමු, දෙවැනි සහ තුන්වැනි පටුමඟවල පදිංචි නිවෙස් හිමියෝ වැසිදාට මෙසේ දැඩි අසරණභාවයට පත්වන බව ඔවුහු පවසති. වැසි දිනවලට ඔවුන් මෙසේ අසරණභාවයට පත් වන්නේ ගම්පහ මහ නගර සභා භූමියෙන් පිටතට ගලායන අධික වර්ෂා ජලය සමඟ අපවිත්‍ර ජලය ඔවුනගේ නිවාසවල ගෙමිදුල ජලයෙන් පිරී යටවීමෙන් අනතුරුව නිවෙස් තුළට එම අපද්‍රව්‍ය සහිත ජලය ගලා ඒම බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති. සමහර වැසි දිනවලදී අඩි හතරක්, පහක් උසට එම අප ජලයෙන් නිවාසවල ගෙමිදුල පිරී යාමෙන් අනතුරුව නිවාස තුළට ජලය ගලා එන බවත් එම ජලයට යට වීම හේතුවෙන් නිවාස තුළ තිබෙන

ගෘහ උපකරණ සහ විදුලි උපකරණ විනාශ වන බවත් ඔවුහු පෙන්වා දෙති. ගෙමිදුලේ නවතා ඇති මෝටර් රථද ජලයෙන් යටවීම හේතුවෙන් එම වාහන ද කාර්මික දෝෂයන්ට ලක්ව ඇති බව එම නිවෙස් හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙති. මේ ප්‍රධාන හේතු මුල් කරගෙන වැසි දිනවලට රැය පහන්වනතුරු නොනිදා සිටින බව එම නිවෙස් හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ. ගම්පහ නගර සභා භූමියෙන් පිටතට අපද්‍රව්‍ය සමඟ ගලා බස්නා ජලයෙන් පීඩා විඳින නිවෙස් හිමියන් දැනට රැකියාවේ නියුතු සහ රජයේ සේවකයින් ලෙස සිට විශ්‍රාම ගත් පිරිස් බව එම නිවෙස් හිමියෝ පවසති. තම නිවස සහ ගෙමිදුල අප ජලයෙන් පිරී යටවී යාම සම්බන්ධයෙන් නිසි පිළියමක් යොදන ලෙසට 2021 වර්ෂයේ සිට ගම්පහ මහ නගර සභා නිලධාරීන්ට වාචිකව සහ ලිඛිතව දැනුම් දී ඇතත් ඔවුන් මුනිවත රකින බව එම නිවෙස් හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

ඡායාරූප ටෝනි කරුණානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT