කාන්දම් බලය සහිත අමුතුම ආකාරයේ පාෂාණ විශේෂයක් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැල්පිටිගොඩ ග්‍රාමයෙන් හමුව තිබේ.
පැල්පිටිගොඩ ප්‍රදේශය පුරා අක්කර 10-15කට අධික බිම් ප්‍රදේශයක් පුරා විසිර පවතින මෙම පාෂාණ අධික දැඩි ගතියකින් යුක්ත අතර, ඒවා කොටස්වලට වෙන්කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බවත්, එසේ වෙන්කළ පසු තෙතමනයක් සහිත යකඩ වැනි විශේෂයක් ඇතුළත දැකගත හැකි බවත්, කාන්දම් කැබැල්ලකට ළං කිරීමේදී මෙම පාෂාණ එහි ඇලීමක් සිදුවන බවත් ප්‍රදේශවාසීහු පවසති.
ගම්වාසීන් විසින් ‘යමද’ නමින් මෙම පාෂාණ විශේෂයට නමක් ද යොදා ඇති අතර, මේවා වසර සියයක් දෙසීයක් හෝ ඇතැම්විට ඊටත් වඩා පැරණි වන්නට හැකි බව ඔවුන්ගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්වෙමින් ජනශ්‍රැති පර්යේෂක ජානක තරංග ආරියරත්න මහතා පවසා සිටියේ, “අතීතයේ මෙම ප්‍රදේශයේ හේවා ඛණ්ඩයක් ස්ථාපිතව තිබූ බවත්, ඔවුන්ට අවශ්‍ය ආයුධ තැනීම මෙහිදී සිදුකර ඇති බවත්, ඊට යොදාගත් පාෂාණ අධික උෂ්ණත්වයකට උණු කිරීමේදී යම් තාපාංකයකදී යකඩ වෙන්ව ඇති බවත්, මෙම පාෂාණ ඉන්පසු ඉතිරි වූ පාෂාණ බොරයෙහි කොටස් බවත් ජනප්‍රවාදයෙහි සඳහන් බවයි.”
එසේම, “කෘතිම පාෂාණ වන මේවා යමහල් ක්‍රියාකාරිත්වයේදී පාෂාණ උණුවීමෙන් ඉතිරිවන බොරයට සමානකමක් දක්වන බවත්, මේ වන තෙක්ම කිසිදු පාර්ශ්වයක් විසින් මේ සම්බන්ධයෙන් මොනයම් හෝ අධ්‍යයනයක් සිදුකර නොමැති බවත් තරංග මහතා පවසා සිටි අතර, කිසියම් විශ්වවිද්‍යාලයක්, අධ්‍යයන ආයතනයක් හෝ වගකිවයුතු බලධාරියෙකු විසින් මේ පිළිබඳ සොයාබැලීමක් සිදුකරන්නේ නම් වැදගත් කරුණු රාශියක් හෙළි කරගැනීමට හැකිවනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.”