– අදට වසර දහයකට වැඩි කාලයක් ගතවී ඇතත් වගේ වගක් නැහැ
– බිත්ති හා කොන්ක්‍රීට් බීම් අතර පිපිරීම් ඉරිතලායාම් වැඩියි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර කොට්ඨාසයට අයත් ගල්අමුණ මහා විද්‍යාලයේ අබලන්ව පවතින දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල අධ්‍යාපන තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් අනුව කඩා ඉවත් කළ යුතු බවට තීරණය කර අදට වසර දහයකට වැඩි කාලයක් ගතවී ඇතත් පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සහ උතුරු මැද පළාත් අධ්‍යාපන කාර්යාලයේ බලධාරීන්ට අනතුරුදායක තත්ත්වයේ පවතින එම ගොඩනැඟිල්ල කඩා ඉවත් කිරීමට වගේ වගක් නැතුව සිටින්නේයැයි පාසල් ප්‍රජාව මැසිවිලි නගති. දූ දරුවන් 500කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන මෙම විද්‍යාලයේ , අබලන් තත්ත්වයේ පවතින එම ගොඩනැඟිල්ල භාවිතයෙන් ඉවත් කළ දිනවල පැවති අබලන් තත්ත්වයට වඩා අද වන විට බිත්ති හා කොන්ක්‍රීට් බීම් අතර පිපිරීම් ඉරිතළා යාම් වැඩිවී ඇති බවක් දක්නට තිබෙන බව පෙන්වා දෙති.
මේ නිසා දරුවන්ගේ නාමයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ සෘජු මැදිහත්වීම තුළින් වහාම මෙම ගොඩනැඟිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
මේ පිළිබඳ පොලොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.මුස්ලිමීන් මහතා ගෙන් දුරකතනය ඔස්සේ විමසීමේදී ඔහු මෙසේ පැවසීය. මෙම ගොඩනැඟිල්ල කඩා ඉවත් කරන්න තීරණය කරලා තියෙන්නේ මගේ සේවා කාලයට පෙර, මා දන්නා පමණින් එම කඩා ඉවත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දීලා තියෙනවා.කොහොම නමුත් ඒ කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා දීම, කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පළාත් සභාවෙන් විමසා බලන්න ඕනෑ.