දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් සෙනඟ පිරී ඇති දුම්රියන්හි ගමන්ගත් මගියකු මියගොස් තවත් මගියකු ඊයේ (12) තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයකු හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් ඇදවැටීමෙන් සිදුවූ අනතුරකින් මරණයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්.ඩී.ඩී.අයි. පෙර්රා නමැති 18 හැවිරිදි ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි. ඔහු මොරටුව කර්මාන්ත ඉන්ජිනේරු අභ්‍යාස ආයතනයේ ඉෙගනුම ලබන ඉංජිනේරු සිසුවකු බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ඊයේ (12) පෙරවරුවේ මොරටුව කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනයට යමින් සිටි එම තරුණයා දුම්රිය වහලය මත සිටියදී හොරපෙ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටීමෙන් බිමට ඇදවැටී එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
මේ අතර කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ පාපුරුවේ ගමන්ගත් මගියකු බටුවත්ත බුළුගහගොඩ අතර දුම්රිය ස්ථානය ආසන්නයේ තවත් දුම්රියක පාපුවරුවේ බෑගයක් රැගෙන ගමන්ගත් තවත් පුද්ගලයකුගේ ගැටීමෙන් ඇදවැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
කොළඹ සිට කුරුණෑගල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය බුළුගහගොඩ දුම්රිය ස්ථානයේ නතර කර තිබියදී අනෙක් මාර්ගයේ එකම දිසාවට ධාවනය වූ රඹුක්කන දුම්රියේ ගමන්ගත් මගියකු මෙලෙස ගැටී ඇතැයි පොලිසිය පවසයි. ඔහු පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙකි. තුවාලකරු සුවසැරිය ගිලන් රථයෙන් රාගම රෝහලට රැගෙන ගොස් ඇත. දුම්රිය රියැදුරන් ආරම්භ කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමෙන් ජනතාවට ගමනාගමන දුෂ්කරතා මතුව ඇති හෙයින් අනතුරුදායක ලෙස දුම්රිය භාවිත කරමින් හෝ තමන්ගේ ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමට යුහුසුලු වීමෙන් මෙම අනතුරුදායක තත්ත්වයන් උද්ගත වී තිබේ. ජනතාව ප්‍රාණ ඇපකරුවන් කර ගනිමින් තම වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීමට දුම්රිය රියැදුරන් ගන්නා උත්සාහය දුම්රිය මගීන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් වී තිබේ.