අ.පො.ස උ/පෙළ 2021 හා 2022 විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) සිදුවිය.
විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් හට ජනාධිපතිවරයා ජනාධිපති ඇගයීම් ප්‍රණාම සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමුවේය.
ඒ අනුව 2022 අධ්‍යයන වර්ෂය සඳහා විෂය ධාරාවන් 6ක් ඔස්සේ පෙනී සිට දිවයිනේ පළමු ස්ථාන 10ට තේරී පත්වූ සිසු දරුවන් 60 දෙනාට සහ 2021 අධ්‍යයන වර්ෂයේ විෂයධාරා 6ක් ඔස්සේ පෙනී සිටි දිවයිනේ පළමු ස්ථාන 5 අතරට පත්වූ සිසුන් 30 දෙනා ද ඇතුළුව මුළු සිසු දරුවන් 90 දෙනෙකු ජනාධිපතිතුමා අතින් ඇගයීමට ලක් විය.
උසස් පෙළ විෂය ධාරා 6ම ආවරණය වන පරිදි දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රුපියල් 50,000ක් බැගින් මුදල් ත්‍යාග පිරිණැමුණු අතර, අනෙකුත් ස්ථාන සඳහා රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග මෙහිදී පිරිනැමිණි.
උසස් පෙළ විශිෂ්ටතා දැක්වූ දරුවන් සමඟ සුහද කතාබහකට එක්වූ ජනාධිපතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද සිසුන්ට අදහස් දක්වන ලෙස ආරාධනා කළේය.
තමන්ගේ මිතුරන් සමඟ කතා කිරීමේ දී අනාගතයේදී තමන් පමණක් ශ්‍රී ලංකාවේ ඉතිරිවේ යැයි බියක් ඇති වන බව මෙහිදී එක් දියණියක් අදහස් දක්වමින් කියා සිටියාය. තම මිතුරන් සියලුදෙනාම පාහේ අධ්‍යාපනයෙන් පසු විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් උසස් අධ්‍යාපනය ලබන සියලුදෙනාට ශ්‍රී ලංකාවට සේවය කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඇය කියා සිටියාය.
තවත් දියණියක් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ තරුණ වියේ දරුවන් බවත් ඔවුන්ට අවශ්‍ය විෂය ධාරාව විනාඩි 40 කාල පරිච්ඡේදවලින් වෙන් කිරීමේදී ඉගෙනීමට බාධාවක් වන බවත්ය. අමතර පන්තිවලදී විෂය දැනුම ඉගෙනීමට ලැබෙන කාලසීමාව පැය කිහිපයක් වන බවත් බොහෝ දෙනෙක් අමතර පන්ති අධ්‍යාපනය සාර්ථක බව පවසන්නේ එනිසා විය හැකි බවත් ඇය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් එම දියණිය ප්‍රකාශ කළේ, උසස් පෙළ සඳහා රජයෙන් ලබාදෙන පෙළ පොත් ගුණාත්මකභාවෙයන් ඉහළ බවත් එම පෙළ පොත්වල අන්තර්ගත කරුණු ටියුෂන් පන්තියේදී තවත් වර්ධනය කරගත හැකි බවත්ය. උසස් පෙළ සිසුන් පාසල තුළ රඳවා ගත හැකි වන්නේ ප්‍රායෝගික සිද්ධාන්ත භාවිත කිරීම වැඩිකිරීම තුළින් පමණක් බව තම අදහස වන බව ද ඇය කියා සිටියාය.
2021 වසරේ උසස් පෙළ විභාගය විශිෂ්ට අයුරින් සමත්ව දැනට සරසවියේ පළමු වසරේ සිටින සිසුවකු ප්‍රකාශ කර සිටියේ, තමන් උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් දිවයිනේ දෙවනියා වූ බවත්, නමුත් කුඩා කාලයේ සිට කැමැත්තක් දැක්වූ මෝස්තර නිර්මාණ විෂය මොරටුව සරසවිය තුළ තෝරාගත් බවත්ය. එසේ නමුත් එම විෂය ධාරාවේ උපාධිය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථාවන් තිබේද යන්න මේ වන විට ප්‍රශ්නයක් වී තිබෙන බව ද ප්‍රකාශ කළේය.
එම නිසා විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ විට උපාධිය සඳහා විෂය තෝරා ගැනීමේදී සිසුන්ට රජයෙන් මාර්ගෝපදේශනයක් ලබාදීමට කටයුතු කරන්නේ නම් වඩාත් ඵලදායි විද්‍යාර්ථයින් පිරිසක් බිහිකිරීමට හැකිවනු ඇතැයි ද ඔහු පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ පළමු වසරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් කියා සිටියේ, විශ්වවිද්‍යාලවල පවතින ගැටලු සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට ඍජු වේදිකාවක් නොමැතිවීම බොහෝ ප්‍රශ්නවලට හේතුවී ඇති බවත් එබැවින් ඒ සඳහා මසකට වරක් හෝ සුදුසු අවස්ථාවක් ලබාදෙන ලෙසය. රජය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව යන දෙපාර්ශ්වය අතර, එකිනෙකා සම්බන්ධව ඇති වැරැදි වැටහීම් හා අවිශ්වාසය අවම කර ගැනීමට ඒ හරහා හැකියාවක් ලැබෙන බව ද ඇය සඳහන් කළාය.
අදහස් දැක්වීමට එක් වූ තවත් සිසුවකු කියා සිටියේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වසර 13ක කාලයක් ගත නොකර ඊට පෙර එම අවස්ථාව ලබාදීමට හැකි නම් සිසු දරුවන්ට උපාධිය කඩිනමින් අවසන් කිරීමට මෙන්ම රැකියා අවස්ථා සොයාගෙන ස්ථාවරත්වයට පත්වීමට අවස්ථාවක් ලැබෙන බවය.
මේ ආකාරයට සිසු දරුවන්ගේ යෝජනා හා අදහස්වලට සවන් දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තම අවධානය යොමු කරන බව සඳහන් කර සිටියේය.
සහතික පත් හා මූල්‍ය ත්‍යාග ලබා ගැනීමෙන් අනතුරුව සිසු දරුවන් සමූහ ඡායාරූපයකට ද එක් විය.
මේ අතර සිසු දරුවන්ට නෙළුම් කුලුන සහ කොළඹ වරාය නගරය නොමිලේ දැක බලා ගැනීම සඳහා පහසුකම් සලසාදීමට ද ජනාධිපති කාර්යාලය කටයුතු යොදා තිබිණි.
තරුණ කටයුතු හා තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා විසින් පිළිගැනීම සිදු කරන ලදි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම් ඩබ්ලිව්. ඒ. සරත් කුමාර, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.