අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා වන ක්‍රියා මාර්ග ඇතුළත් කෙටුම් පතක් සකස් කිරීම සඳහා මහජනතාව ගෙන් සහ විශේෂඥයන්ගෙන් තොරතුරු රැස් කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට ඊයේ (12) දන්වා සිටියේය.
අලි ඇතුන් සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා මේ බව සඳහන් කළේය.
සම්පත් අබේකෝන් සහ ඒ.එම්.ආර්. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි. එහිදී අධිකරණයේදී මීට පෙර එකඟතාවය පළ කළ පරිදි අලි මිනිස් ගැටුම වළක්වාලීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව සහ තොරතුරු රැස් කරමින් සිටින බව නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා කීය. ඒ සම්බන්ධයෙන් පාර්ශ්වයන් සමඟ රැස්වීම් කිහිපයක් ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වූ බව ද ඒ මහතා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වන යෝජනා අධිකරණයට ඉදිරිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය. නීතිපතිවරයා ඇතුළු වගඋත්තර කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා එහිදී සඳහන් කළේ අලි මිනිස් ගැටුම වළක්වාලීම සඳහා 2020 වසරේදී සකස් කළ වැඩ පිළිවෙළක් දැනටමත් පවතින බව යි. නව ක්‍රියා මාර්ග සකස් කිරීමේදී එම කරුණු ද අවධානයට ගත හැකි බව ඒ මහතා කීය. කරුණු සලකා බැලූ අධිකරණය ඒ අනුව අදාළ යෝජනා මාලාව ලබන නොවැම්බර් මස 24 වැනිදා ලබා දෙන ලෙස පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයට නියම කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.