ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට උත්සාහ දැරීමේ සිද්ධියට සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයා සොයා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලදි.
මේ අතර අදාළ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (12) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
ඊට කොළඹ අපරාධ කොට්ඨාසයේ ද සහාය ලැබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
එම විමර්ශනයට අදාළව එම පොලිස් කොස්තාපල්වරයාගේ ඥාතියකුව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට කැඳවා දීර්ඝ ලෙස ඊයේ (12) ප්‍රශ්න කර තිබිණි.
මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර (97420) නමැති මෙම කොස්තාපල්වරයා පොලිස් සේවයට එක්ව වැඩි කාලයක් නැති අයකු බවත් හරක් කටා විසින් ඔහුව මුදලට නම්මවාගෙන ඇති බව පෙනී යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කොස්තාපල්වරයාගේ පෙම්වතිය බව කියන පොලිස් කොස්තාපල්වරියකගෙන් පෙම්වතා ගැන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා (11) ප්‍රශ්න කර තිබිණි. එහිදී වැදගත් කිසිදු තොරතුරක් හෙළිවී නැත.
හරක් කටාගේ දෑතේ මාංචු තද නොකර මෙම නිලධාරියා විසින් හරක් කටාට පලා යෑමට උදව් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම නිලධාරියා විසින් ඊට පෙර තමා ගමේ ගොස් පැමිණෙන විට රැගෙන ආ බව කියමින් කිරිටොෆී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදුන් බවත් එම කිරිටොෆී කා නිලධාරීන් ක්ලාන්තයක් සෑදෙන විට හරක් කටා විසින් ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය පැහැරගෙන පලා යෑමට උත්සාහ ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කියැවෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 10 වැනිදා හරක් කටා ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බවය. එම අවස්ථාවේදී සිදුවූ පොර බැදීම නිසා පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්ය.
පොලිස් කොස්තාපල්වරයා පලා යන්නේ එම පොර බැදීම අතරතුරදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරයි. ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් ඔහු පලා ගියේ කෙසේදැයි සොයා විමර්ශන මේ වන විට අරඹා ඇත.
හරක් කටාට පලා යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට හෝ ඒ ආසන්න ප්‍රදේශයක වාහනයක් සූදානමින් තිබෙන්නට ඇතැයි සැකයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මතුකර ඇත. ඒ ගැනද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන පවත්වයි. එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදු වූයේ කුමක්ද? සැලසුම කුමක්ද? ආදි හැම තොරතුරක්ම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කෙරේ.