Home » මගේ දරුවා නැති වුණේ වර්ජනය හින්දයි
මොරටුව කාර්මික ඉංජිනේරු සිසුවා හොරපේ දුම්රිය ස්ථානයේ වහළේ ගැටී මරුට

මගේ දරුවා නැති වුණේ වර්ජනය හින්දයි

මිය ගිය දිනෙත් ඉඳුවරගේ පියා හඬා වැටෙයි

by mahesh
September 13, 2023 1:06 am 0 comment

ගම්පහ සමූහ ටෝනි කරුණානායක කැලණිය කේ.එස්.හැන්නදි සහ ජා-ඇළ සමූහ, ප්‍රසංග පෙරේරා

– මළ සිරුර රාගම රෝහලට බාරදෙයි: පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේ දී
– යතුරුපැදියෙන් පුතා ගම්පහ ස්ටේෂමට ඇරලුවේත් මමයි

‘කෝච්චි නැති නිසා ඊයේ (12) යන්න එපා කියා පුතාට කීවත් වැඩක් තියෙනවා ඒ නිසා යන්න ඕනෑ කියා පුතා කී නිසා මම යතුරුපැදියෙන් එයා ගම්පහ ස්ටේෂන් එකට ගිහින් ඇරලුවා’

මහනුවර සිට කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක වහළ මත නැඟ ගමන් කරමින් සිටියදී රාගම හොරපේ දුම්රිය ස්ථානය අසල දී අනතුරට ලක්වීමෙන් මියගිය මොරටුව කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලබන සිසුවාගේ පියා වන ඩබ්ලිව්.ඩී. සුදත් පෙරේරා මහතා ඊයේ (12) හුණුපිටිය දුම්රිය ස්ථානයේදී පැවසීය.මියගිය සිසුවාගේ පියා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. මට දරුවෝ හතර දෙනෙක් සිටිනවා.

හිටිය එකම පිරිමි දරුවා මෙයා.අනිත් තිදෙනාම ගැහැනු දරුවන්. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු පුතා කීවා මොරටුව කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයට ඇතුළත් විය යුතුයි කියා.

පුතා මොරටුව කර්මාන්ත අභ්‍යාස ආයතනයට යන්න පටන් ගත් දවසේ සිට හැමදාම උදේට මම එයා මගේ යතුරුපැදියෙන් ගම්පහ ස්ටේෂන් එකට ගිහින් ඇරලවනවා. මම ඊයේ (12) උදේත් මගේ යතුරුපැදියෙන් පුතා ගම්පහ ස්ටේෂන් එකට ගිහින් ඇරලවා ආවේ.කෝච්චි රියැදුරන්ගේ වර්ජනය නිසා කෝච්චි නැතිව ස්ටේෂන් එකේ මහා ජනකායක් හිටියා. මම ගෙදර ගිහින් බිරියට කීවා නැවත පුතාට කෝල් කරලා කියන්න කෝච්චි නැති නිසා ආපසු ගෙදර එන්න කියලා. එවිට බිරිය කීවා එයාට අද යොදාගත්ත වැඩක් තියෙනවා. ඒ නිසා යන්නම ඕනෑ කියා කිවුවා කියලා. මගේ පුතා කවදාවත් කෝච්චියේ ඔහොම ගමන් කරන්නේ නැහැ. කෝච්චි රියැදුරන්ගේ වර්ජනය නිසයි පුතාට මේ දේ වුණේ. කවුද මේවට වග කියන්නේ? එයාලා ඉල්ලීම් දිනා ගනියි. මට මගේ පුතා නැති වුණායැයි පැවසීය.

ගම්පහ,මොරගොඩ, අඹගහවත්ත පොල්කොටුව පාරේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඩී. දිනෙත් ඉඳුවර සසිත් පෙරේරා නැමැති 18 හැවිරිදි සිසුවා ඊයේ (12) උදේ කෝච්චියේ වහළය මත ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් මෙසේ මියගොස් තිබේ.

කෝච්චියේ වහළය මත ගමන් කරමින් සිටි මියගිය මේ සිසුවාගේ හිස හොරපේ දුම්රිය ස්ථානයේ වහළයේ ගැටීමෙන් අනතුරට ලක්ව මියගොස් ඇති බව පොලිසිය සැක කරයි. මියගිය සිසුවාගේ මළසිරුර ඔහු ගමන් ගත් දුම්රියේම රැගෙන ගොස් හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදීමට දුම්රිය සේවකයන් කටයුතු කර තිබූ බව කිරිබත්ගොඩ පොලීසිය පවසයි.

පසුව කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරින් විසින් හුණුපිටිය දුම්රිය ස්ථානයේ තිබූ මළ සිරුර රාගම රෝහල වෙත භාරදීමට කටයුතු කර තිබූ බව පොලිසිය පැවසීය.සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT