Home » මෙරට සියලු ව්‍යාපාර එක්‌ පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කළ යුතුයි

මෙරට සියලු ව්‍යාපාර එක්‌ පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කළ යුතුයි

by mahesh
September 13, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල අවකාශයේ සිදුකරන මහාපරිමාණ ව්‍යාපාර මඟින් රජයට කිසිදු අදායමක් නොලැබෙන බවත් ඒ හේතුවෙන් මෙරට සියලු ව්‍යාපාර එක්‌ පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කඩිනමින් සිදු කළයුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ, මධුර විතානගේ මහතාගේ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී ව්‍යාපාර ලියාපදිංචි කටයුතු සිදුකිරීමේ ක්‍රියාවලිය තුල මතුව ඇති ගැටලු හා එම ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ජා විය.

රාජ්‍ය සේවකයන් තුළ ව්‍යවසායකත්ව මානසිකත්වයක් ඇති කිරීම ඔස්සේ වඩා ඵලදායී සේවයක් ලබා ගත හැකි බව සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම රාජ්‍ය සේවකයන් දිවයින පුරා ක්‍රමවත්ව හා සාධාරණ අයුරින් ස්ථාන ගතකිරීමේ වැදගත්කමද සාකච්ජා විය.

මධුර විතානගේ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධතිය තුල ක්‍රමවේදයේ පවතින යම් යම් දුර්වලතා හේතුවෙන් ඉන් ලබාදෙන සේවාවන්වල කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු මතුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. පැමිණ සිටි නිලධාරීන් කමිටුව හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ මෙරට පළාත් නවයම ආවරණය වන පරිදි රාජ්‍ය ආයතනවල නිලධාරීන් එකම ක්‍රමවේදයකට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

එහිදී එම ආයතන සඳහා මාර්ගෝපදේශ ලබාදීම අත්‍යාවශ්‍ය බවත් ඒ ඔස්සේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම වීමෙන් ජනතාවට ඉහළ ගුණාත්මක හා මිත්‍රශීලි සේවයක් දියහැකි බව එම නිලධාරීන්ගේ මතය විය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලටම උපලේඛනයක් වශයෙන් හෝ ඒ ඒ අමාත්‍යාංශයන් නම් කරන්නේනම් ඉන් දිගුකාලීන,නොවෙනස්වන තීරණ ගැනීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම බහුකාර්ය හැකියාවන් සහිත රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැදගත්කම ගැනද මෙහිදී සාකච්ජා විය.

කාරක සභා සභාපතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පැයක් තුල අවසන් කරන ආකාරයේ කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දියයුතු බවයි. ඒ අනුව ලංකාවේ සියලුම ව්‍යාපාර QR කේතයක් යටතේ ලියාපදිංචි කිරීමට කමිටුව නිර්දේශ කළේය.

සාධාරණ නොවන අයුරින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ගතයුතු ක්‍රියාමාර්ග රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය තුළ පවතිනවාද යන්න සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

එහිදී බලධාරීන් පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ අල්ලස් හා දුෂණ විරෝධී පනත යටතේ හෝ ආයතන සංග්‍රහයේ විනය ක්‍රියාමාර්ග මගින් ඒ සඳහා කටයුතු කළහැකි බවයි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න, මොහොමඩ් මුසම්මිල්, කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් මෙන්ම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාව සඳහාසහභාගී වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT