රත්මලාන ඥානේන්ද්‍ර පාර ධීවරයෙකු නිවසින් පිටතට රැගෙන ගොස් වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණීමට යොදා ගත් බව කියන යතුරුපැදිය පාදුක්ක ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉකුත් 10 වෙනි දින සිට ඊයේ (12) සවස 6 දක්වා සැකකරුවන් වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විසින් සීසීටීවී කැමරා දර්ශන එකසිය පනහකට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පැය දෙකහමාරක් තුනක් අතර පමණ කාලයකදී බෝකුන්දර කැස්බෑව බණ්ඩාරගම හොරණ හරහා ඉතා අධික වේගයකින් රත්නපුර දක්වා ගොස් ඇති බව මේ වන විට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය මායිම් වෙන් කෙරෙන කිඳෙල්පිටිය පාලම පසු කිරීමත් සමඟම යතුරුපැදිය මෝටර් රථයට සමගාමීව ඉදිරියට ධාවනය නොවන බවට සීසීටීවී දර්ශනවලින් පැහැදිලි වීමත් සමඟම කැස්බෑව පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන් එම ප්‍රදේශය පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බොල්ගොඩ ගඟේ අතු ඔයේ තිබියදී සොයා ගත් යතුරුපැදිය හංවැල්ල කුඩලුඔය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් එය ඉකුත් අප්‍රේල් දෙවැනි දින පාදුක්ක ප්‍රදේශයේ දී නැතිවීම සම්බන්ධයෙන් යතුරු පැදියේ හිමිකරු පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් ද කර තිබූ බවත් පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ එල්ලාවල ලියනගේ විමුක්ති නුවන් සම්පත් නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
ඔහු ශල්‍යකර්මයට ද ලක්කර මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහෙල් ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර, සහකාර පොලිස් අධිකාරී දර්ශන කුලකුලසූරිය මහත්වරුන්ගේ උපදෙස් මත කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් සමරසිංහ, ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලහකෝන්, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න, ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (97324) දිසානායක, (103839) චතුරංග මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.