Home » ‘ඩැනියෙල්‘ ලිබියාවේ දසදහසක් අතුරුදන් කරයි

‘ඩැනියෙල්‘ ලිබියාවේ දසදහසක් අතුරුදන් කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලයි

by mahesh
September 13, 2023 1:05 am 0 comment

නැඟෙනහිර ලිබියාවට කඩා වැදුණු ‘ඩැනියෙල් සුළි කුණාටුව‘ ජීවිත තුන්දහසක් බිල්ලට ගෙන තවත් ජීවිත දසදහසක් අතුරුදන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2011 දී මුවම්මර් ගඩාෆිගේ රජය බිඳ වැටීමෙන් පසු ලිබියාවෙන් වෙන් වී නැඟෙනහිර ලිබියාව ලෙස වෙනම රාජ්‍යයක් බවට පත්වී ඇති එම කලාපයේ විශාල ජලාශ දෙකක වේලි කැඩී යෑමත් සමඟ ප්‍රධාන නගරය වන ඩෙර්නා නුවර මුළුමනින්ම ජලයෙන් යටවී ඇතැයි ද වාර්තා වේ. ඩෙර්නා නුවර ලක්ෂයකට වැඩි ජනතාව යට කරමින් ගලා ගිය ජල ධාරාවට හසුවීමෙන් මියගිය සංඛ්‍යාව මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි බවත්, එය තුන්දහසකට අධික බවට තක්සේරු කර ඇති බවත් නැඟෙනහිර ලිබියානු රජය නිවේදනය කර තිබේ.

මේ වන විට මළ සිරුරු 1500ක් පමණ සොයා ගෙන ඇති අතර, මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු සෙවීමට සහ අතුරුදන්වූවන් සෙවීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඩෙර්නා නුවර ජලයට කොටු වී සිටි පවුලක් බේරාගැනීමට ගිය ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සේවකයන් තිදෙනකු ද ජලයට හසුවී අතුරුදන්වී ඇතැයි වාර්තා වේ. ඩෙර්නා නුවර වර්ග කිලෝමීටර් 4ක පමණ පළාත සම්පූර්ණයෙන්ම සුනාමියකට හසුවූ ආකාරයක් දිස්වන බව නැඟෙනහිර ලිබියානු රජයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ. මේ වන විට නැඟෙනහිර ලිබියාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඩෙර්නා නුවරට ඇඳිරි නීතිය පනවා ඇතැයි ද වාර්තා වේ.


You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT