– ඉක්මන් ප්‍රතිකාරයෙන් මාරාන්තික බව වළකා ගත හැකියි
– ලොව පුරා සිදුවන සෑම මරණ පහකින් එකකට හේතුව පූතිකයයි
– පූතිකයෙන් දිවි ගැලවුණත් ජීවිත කාලයටම බලපාන සංකූලතා ඇති වෙනවා
අදට යෙදෙන ලෝක පූතික දිනය නිමිත්තෙනි
පූතික මාරාන්තික රෝගී තත්ත්වයකි. මෙහි භයානකත්වය හඳුනාගත් ලෝක පූතික සන්ධානය (Global Sepsis Alliance) සැප්තැම්බර් 13 ලෝක පූතික දිනය ලෙස නම් කර ඇත. එදිනත් මුළු සැප්තැම්බර් මාසයේදීමත් මේ දරුණු ව්‍යාධිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා යෙදවීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩිසත්කාර වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පූතිකය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම සහ ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු වීමේ වැදගත්කම ඉස්මතු කොට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට කැපවී සිටී.
තවද ශ්‍රී ලංකා පූතික සන්ධානය (Sri Lanka Sepsis Alliance) පිහිටුවීමේ කටයුත්තක් එදිනම සිදු කිරීමට ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩිසත්කාර වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය කටයුතු යොදා ඇත. එම කටයුත්ත වෙනුවෙන් ඊට අදාළ අනෙකුත් වෛද්‍ය සහ වෛද්‍ය නොවන සියලු කණ්ඩායම් එකතු කර පූතිකය පැරදවීමට සාමූහික සටනක් සිදු කිරීම වෙනුවෙන් ක්‍රියා කරනු ඇත. මේ ලිපිය ලියැවෙන්නේ ඒ නිමිත්තෙනි.
පූතිකය (Sepsis) යනු කුමක්ද?
පූතිකය ජීවිතය තර්ජනයට ලක් කෙරෙන්නාවූත් හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන්නාවූත් රෝගී තත්ත්වයකි. සිරුරේ ඇති වන ආසාදනයකට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් දක්වන අධික වූත්, අසාමාන්‍ය වූත්, ප්‍රතිචාරය මීට හේතුවයි. එම ප්‍රතිචාරයේ මූලික අරමුණ ශරීරයේ ඇති විෂ බීජ විනාශ කිරීම වුවත් එහි ඇති අධික බව සහ අසාමාන්‍ය බව නිසා සිරුරේම අවයවවලට හානි සිදුවේ. (මොළය, හෘදය, වකුගඩු හා අක්මාව වැනි) පූතික තත්ත්වය උග්‍ර වීමෙන් හෝ නිවැරැදි ප්‍රතිකාර නිසි කලට නොලැබීමෙන් (Septic Shock) එනම්, පූතික කම්පනය නැමැති දරුණු තත්ත්වය ඇති වේ. ඉහත සඳහන් කළ සිරුරේ වැදගත් අවයවවලට ප්‍රමාණවත් රුධිර සැපයුමක් පූතික කම්පන අවස්ථාවේදී නොලැබී යයි. එවිට එම අවයව අකර්මණ්‍ය වී බහු අවයව අකර්මණ්‍යතාවය Multiorgan Failure ඇති වේ. පූතික කම්පනයට පත්වන අයගෙන් 40% දෙනෙකු පමණ මිය යයි.
පූතිකයට හේතුවන ආසාදන තත්ත්වයන් බොහෝ දුරට ඇති කරන්නේ බැක්ටීරියා මඟිනි. එසේ වුවත් කලාතුරකින් වයිරස්, දිලීර සහ පරපෝෂී ජීවීන් මඟින් ද පූතිකය හටගනී. ශරීරයට ඇතුළුවන විෂබීජ මඟින් ඇති වන ආසාදන මැඬලීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය මහඟු සේවයක් ඉටු කරන අතර ඖෂධ ලබා ගැනීමෙන් ද ඊට රුකුලක් ලැබේ. නමුත්, සමහර අවස්ථාවලදී ආසාදනය තීව්‍ර වීමකදීත් එසේ නැත්නම් සමහර පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍ය ස්වභාවය අනුවත් ආසාදනයක් පූතික තත්ත්වයක් දක්වා දරුණු විය හැකිය. නියුමෝනියාව, තුවාල පැසවීම ඇතුළු සමේ සහ අනෙකුත් මෘදු පටකවල ඇතිවන ආසාදන, උණ්ඩුකපුච්ච ප්‍රදාහය, පිත්තාශයේ ආසාදන, මොළයේ මස්තිෂ්ක පටලවල ඇති වන ආසාදන පූතික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.
පූතිකය ගැන දැනුවත් වීම වැදගත් වන්නේ ඇයි?
ලෝක පූතික සන්ධානයට අනුව වසරකට මිලියන 50කට අධික ජනතාවක් ලොව පුරා පූතිකයට ගොදුරු වේ. ඒ අතර ඉන් මිලියන 11ක් පමණ මිය යයි. මෙහි ඇති භයංකාරත්වය ගැන අදහසක් ලබා ගත හැකියි. සෑම තත්පර 2.8කට වරක් පූතිකය හේතුවෙන් ලොව කොතැනක හෝ මරණයක් සිදු වේ.
තවද ලොව පුරා සිදුවන සෑම මරණ පහකින් එකකට හේතුව පූතිකයයි. මීට අමතරව පූතිකයෙන් ගැල වී දිවි ගලවා ගත් අයගේ ජීවිත ද ගැටලු සහගත වේ. ඔවුන්ට ජීවිත කාලයටම මුහුණ දීමට සිදුවන විවිධ සංකූලතා ඇති වේ.
රෝග ලක්ෂණ හඳුනා ගැනීම
පූතිකය මූලික අවස්ථාවේදීම හඳුනාගැනීම වෛද්‍ය වෘත්තිකයන්ට ද අභියෝගයකි. ශරීරයේ යම් ආසාදනයක් පවතින විටදී එය පූතික තත්ත්වයක් දක්වා වර්ධනය වන්නේ දැයි විමසිල්ලෙන් සිටීම ඉතාම වැදගත්ය. පහත රෝග ලක්ෂණ ඇත්නම් පූතිකය සැක කළ හැක.
උණ සහ ඇඟපත කැක්කුම
හුස්ම ගැනීමේ අපහසුව
කල්පනාවේ ව්‍යාකූලතාව
මූත්‍රා පිටවීම අඩුවීම
සම දුර්වර්ණ වීම
මිය යා හැකි යැයි හැඟීම
පූතිකය වැලඳීමට වැඩි අවදානමක් ඇත්තත් කාටද?
මූලිකවම ඕනෑම කෙනෙකුට පූතිකය වැලඳීමට හැකියි. ඊට කිසිදු භේදයක් නොමැත. සමහර කණ්ඩායම් පූතිකයට ගොදුරු වීමට වැඩි අවදානමක් දක්වයි. දීර්ඝකාලීන රෝගී තත්ත්ව (දියවැඩියාව, පෙණහලු රෝග, අක්මා රෝග, වකුගඩු රෝග) ඇති අය, පිළිකා ඇති අය, ප්‍රතිශක්තිකරණය ඌණ වූ රෝගීන් (ප්ලීහාව ඉවත්කළ රෝගීන් හා ඒඩ්ස් රෝගීන්) ගර්භිණී මව්වරු වයස අවුරුද්දට අඩු බිලිඳුන් සහ 60ට වැඩි වයස්ගත පුද්ගලයන් මේ අතර වේ.
ඔබට පූතිකය ඇති බවට සැක නම් කුමක් කළ යුතුද?
හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔබව පරීක්ෂාවෙන් පසු පූතික ඇති බවට සැක කළ හොත්, වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබව රෝහල තුළ රඳවා ගනු ඇත.
වෛද්‍ය ප්‍රතිකාර කෙබඳුද?
පූතිකයට ප්‍රතිකාර කිරීමේදී කාලය රන් හා සමාන ලෙස වටී. පළමු පැය තුන තීරණාත්මක වනු ඇත. ඔබගේ නාඩි රුධිර පීඩනය, ශ්වසන වේගය, ඔක්සිජන් මට්ටම, ශරීර උෂ්ණත්වය හා මුත්‍රා පිට වන ප්‍රමාණයන් පරීක්ෂා කරනු ඇත. පළමු පැය තුළ පහත දේ සිදු වනු ඇත.
1. විෂබීජ වැඩේ දැයි පරීක්ෂා කර බැලීමට රුධිරය මුත්‍රා සහ අවශ්‍ය නම්, සෙම සාම්පල ලබා ගැනීම.
2. රුධිරගත ලැක්ටික් (Lactate) අම්ල ප්‍රමාණය මැන බැලීමට රුධිර සාම්පල ලබා ගැනීම.
3. විශාල පරාසයක් තුළ විෂබීජ මර්දනය කළ හැකි ප්‍රබල ප්‍රතීජීවක ඖෂධ රුධිරගතව ලබා දීම.
4. සේලයින් හෝ ඊට අනුරූපී දියර වර්ග රුධිරගත මාර්ගයෙන් ලබාදී ශරීරය ප්‍රකෘතිමත් කිරීම.
5. රුධිර පීඩනය අඩු නම්, එය වැඩිකර ගැනීමට ඖෂධ රුධිරගත මාර්ගයෙන් ලබා දී රුධිර පීඩනය අවශ්‍ය තරමට වැඩිකර ශරීරයේ වැදගත් අවයවලට රුධිරය සම්පාදනය කිරීම.
පූතිකයේ සංකූලතා මොනවාද?
පූතිකය ශරීරයේ සෑම අවයවයකටම පාහේ විනාශකාරී බලපෑම් ඇති කරයි. ව්‍යුහයටත් ක්‍රියාකාරීත්වයටත් යන දෙකටම හානි සිදු කරයි. උදාහරණ ලෙස වකුගඩු, අක්මාව, පෙණහලු පමණක් නොව මොළයේ පවා අකර්මණ්‍යතා ඇති කරයි. මේවායින් සමහරක් ඒවා මුළු ජීවිත කාලය පුරාවටම පවතී. මෙම සංකූලතා උග්‍රවීමෙන් බහු අවයව අකර්මණ්‍යතාවය ඇති වී මරණය ළඟා විය හැකියි.
රෝහලින් පිටව ගිය පසුවත් පූතිකය ඔබට කරදර කරයිද?
පූතිකයෙන් ජීවිත බේරාගෙන නිවෙස් කරා ගිය අයගෙන් සමහරුන්ට පසු පූතික සහලක්ෂණයට Post Sepsis Syndrome මුහුණ දීමට සිදුවේ. මෙය මුළු ජීවිත කාලයටම වුවත් බලපෑ හැකි තත්ත්වයකි. විඩාබර බව, මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම, මතකය දුර්වල වීම, සිතීමේ හැකියාව දුර්වල වීම සහ මාංශ පේෂි දුර්වල වීම මෙහි රෝග ලක්ෂණ වේ.
පූතිකය වළක්වා ගත හැකිද?
පූතිකය වළක්වා ගත හැකිය. නියමිත අවස්ථාවලදී දෑත් සේදීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ජීවන රටාවක් පවත්වාගෙන යාම, දියවැඩියාව වැනි දීර්ඝ කාලීන රෝග තත්ත්වයන් පාලනය කර ගැනීම ප්‍රතිශක්තිකරණ එන්නත් නියමිත පරිදි ලබා ගැනීම වැනි දේ මගින් පූතිකය වළක්වා ගැනීමේ මූලික පියවර තැබේ. ලෝක පූතික සංධානය (Global Sepsis Alliance) මගින් පූතිකය පිළිබඳ සියලු තොරතුරු සපයනු ලැබේ. ශ්‍රී ලංකාවේ නිර්වින්දන සහ දැඩි සත්කාර වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයත් විවිධ වූ වැඩසටහන් මගින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයත් සාමාන්‍ය ජනතාවත් දැනුවත් කිරීම සිදු කරයි. ශ්‍රී ලංකා පූතික සන්ධානය මේ වසරේ සැප්තැම්බර් 13 පිහිටුවීමෙන් පසු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ලෝක පූතික සංධානයේ මගපෙන්වීම යටතේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් පර්යේෂණ කටයුතු සහ පූතිකය මැඬලීමේ මාර්ගෝපදේශ සැකසීම වැනි දේ ක්‍රියාත්මක කරනු ඇත.
වෛද්‍ය අබ්දුල් සුකූර්,
වෛද්‍ය තුසිත ජයතිලක
වෛද්‍ය පියූෂා ජයවර්ධන,
වෛද්‍ය නන්දිකා වනිගසිංහ