Home » වෝටර් රාෆ්ටින් ක්‍රීඩාවට ඇති ගැටළු විසඳා එය නංවාලීමට විශේෂ වැඩපිළිවෙලක්

වෝටර් රාෆ්ටින් ක්‍රීඩාවට ඇති ගැටළු විසඳා එය නංවාලීමට විශේෂ වැඩපිළිවෙලක්

by chanaka
September 13, 2023 3:18 pm 0 comment

ලොව පුරා සීමිත රටවල් කිහිපයක පමණක් ක්‍රියාත්මක කළ හැකි දියමත ලිස්සා යාම හෙවත් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇති ගැටළුවලට විසඳුම් ලබාදී එම ක්‍රීඩාව නංවාලීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කිතුල්ගලදී ඊයේ(12) නිරීක්ෂණ වැඩසටහනක් සහ සාකච්ඡාවක් පැවැත්වුණි.

කිතුල්ගල නගරයට ඉහළ කොටසේ කැළණි ගගේ මෙම ක්‍රීඩාවේ යෙදීම ආරම්භ කරන ස්ථානයේ සහ අවසන් ස්ථානයේ නිසි ප්‍රවේශ මාර්ග නොමැතිවීම, බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරය ඉදිකිරීම නිසා , වර්ෂාව නොමැති කාලයේදී මෙම ක්‍රීඩාවට ප්‍රමාණවත් තරම් ජලය නොමැතිවීම, සංචාරකයන් සඳහා නිසි යටිතල පහසුකම් නොමැතිවීම ආදී ගැටළු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි. එම ගැටළු කඩිනමින්ම විසඳීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පැමිණි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එහිදී යම් මූල්‍ය ගැටළුවක් ඇති වුවහොත් මුදල් අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කිතුල්ගල ආශ්‍රිතව පිහිටා ඇති බෙලි ලෙන, කුරුළු පාරාදීසය ඇතුළු ස්ථාන වලට පහසුවෙන් ළඟාවීම සඳහා ප්‍රවේශ මාර්ග කඩිනමින් සකස් කර දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණි.

2023 අයවැය ලේඛනයෙහි සඳහන් ආකාරයට කිතුල්ගල සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සියළු පියවර ගන්නා ලෙසද නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.

මෙම සාකච්ඡාව හා නිරීක්ෂණ වැඩසටහන සඳහා මුදල් අමාත්‍යාංශය , සංචාරක අමාත්‍යාංශය , සබරගමුව පලාත් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පලාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය හා ක්ෂේක්‍රයට සම්බන්ධ පෞද්ගලික ආයතන නියෝජනය කරන නිලධාරීන් මෙන්ම වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව සඳහා පහසුකම් සපයන්නන් විශාල පිරිසක්ද එක්වූහ.

මෙහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ මෙම ක්‍රීඩාව සඳහා අවශ්‍ය උපකරණ ආදිය සඳහා බදු සහන ලබාදීමටද පියවර ගන්නා බවයි.

 

තිසර සමල් සෝමරත්න අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT