Home » ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට පියවර

ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට පියවර

by chanaka
September 13, 2023 3:09 pm 0 comment

ඉන්දීය ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ඉන්දියා සංගමය පවසයි.

ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සාමාජිකයන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී අද (13) පැවැත්වුණ අතර එහිදී එම සංගමයේ නිලධාරීන් එසේ සඳහන් කළහ.

දෙරට අතර සංවර්ධන සහයෝගීතාවයේ වර්ධනය පෙන්වාදුන් අගමැතිවරයා, පෞද්ගලික අංශයේ ඉන්දීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට දරන ප්‍රයත්නය වෙනුවෙන් ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ට ස්තුතිය පළ කළේ ය.

කෘෂිකර්ම, සංචාරක, තොරතුරු තාක්ෂණ, පුනර්ජනනීය බලශක්ති සහ අධ්‍යාපන යන අංශවල ආයෝජන සඳහා බොහෝ අවස්ථාවන් පවතින බව ප්ලැටිනම් රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ඉන්දියා සංගමයේ සභාපති කිෂෝර් රෙඩ්ඩි මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදී යළි ස්ථාවර තත්ත්වයට පත් වෙමින් ඇති බැවින්, තොරතුරු තාක්ෂණය, සංචාරක කර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තියට අමතර ව, මෝටර් රථ උපාංග නිෂ්පාදනය, ඛනිජ වැලි සඳහා අගය එකතු කිරීම, ගොවි සමුපකාර ව්‍යාප්ත කිරීම මඟින් කිරි හා පශු සම්පත්,කර්මාන්තය නගා සිටුවීම, තක්කාලි යුෂ නිෂ්පාදනය වැනි කෘෂිකාර්මික නිෂ්පාදන සිදු කිරීම වැනි ක්ෂේත්‍ර රාශියකට සෘජු විදේශ ආයෝජන සඳහා විශාල ඉඩකඩක් පවතින හෙයින් ආයෝජනය කිරීම සඳහා මෙය යහපත් කාලයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා ශ්‍රී ලංකා සංගමයේ කටයුතුවලට ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව රෙඩ්ඩි මහතා අගමැතිවරයාට ස්තුතිය පළ කළේ ය.

කිරි නිෂ්පාදනය සහ එකතු කිරීම සඳහා ගොවි සමූපකාර භාවිතා කිරීම මඟින් ඉන්දියාවේ අමුල් ආයතනය සාර්ථකත්වයට පත්වීමේ ක්‍රමවේදයෙන් පාඩම් ඉගෙන ගනිමින් ශ්‍රී ලංකාවට කිරි කර්මාන්තය පුළුල් කළ හැකි වනු ඇති බව ඉන්දියානු සමාගම් සමූහයක මෙරට ප්‍රධානී ටී.එස්. ප්‍රකාශ් මහතා කියා සිටියේය.

දශක ගණනාවක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමෙන් ලත් අත්දැකීම් පිළිබඳ සඳහන් කරමින් දැවැන්ත ඉන්දීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන සිදු කිරීම පිණිස ඉන්දීය ප්‍රාන්තවල සිටින ව්‍යවසායකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසු වන බව ඉන්දීය නිලධාරීන් පෙන්වා දුන්හ.

1949 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා ඉන්දියා සංගමය, ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම සහ විශාලතම මිත්‍රත්ව සංගම්වලින් එකකි.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT