Monday, April 21, 2025
Home » අග්බෝට ප්‍රතිකාර පටන් අරන් මාස 03යි… තරමක සුවයක්

අග්බෝට ප්‍රතිකාර පටන් අරන් මාස 03යි… තරමක සුවයක්

by chanaka
September 13, 2023 12:16 pm 0 comment

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12 වනදා සිට ප්‍රතිකාර ආරම්භ කල අතර, ඊයේ (12) දිනට හස්තියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු අරඹා තුන්මසක් ගතවී ඇත.

අග්බෝගේ ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරයි.

අවස්ථා කිහිපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ එම කාර්යාලයට අනුයුක්ත බහුකාර්ය නිළධාරීන්ගේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවද දැක ගත හැකිය.

මේ අතර මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12)කටයුතු කළහ.

තිරප්පනය, වන්නම්මඩුව වැව් පිටියේදී මෙම ගොයම අග්බෝ හස්තියාට ලබා දීම සිදු කෙරිණි. අග්බෝ හස්තියා ඊයේ (12) දින වන්නම්මඩුව වැව් පිටියේ රැඳී සිටි අතර, සවස වැවට බැස ජලස්නානය කර අග්බෝ ගොවීන් විසින් ලබා දුන් ගොයම භුක්ති විදීමට පැමිණියේය.

අග්බෝ හස්තියාට ආහාර පිණිස ගොයම් එක්කාසූ කිරීම ධාතුසේන ගොවි සංවිධානයේ නියෝජිතයින් මෙන්ම, එම ගම්මානයේ කාන්තා ගොවි සංවිධාන නියෝජිතයින්ද කටයුතු කර ඇත. එම කාන්තාවන්ද ගොයම් රැගෙන පැමිණ හස්තියා වෙත ලබා දුන්හ.

(‍තිසර සමල් – අනුරාධපුර)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT