ප්‍රියංකරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ව්‍යාජ අත්සනක් සහිත කූට දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබීම හේතුවෙන් නීති විරෝධී මත්පැන් බෝතල් තිහක් (30) සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට අදාළ නඩුවක විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කර මුදාහරින ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය.
මෙසේ නිදොස් කොට නිදහස් කර මුදාහැරියේ තඹුත්තේගම කලුන්දෑගම මිණිමුතු ගම්මානය ලිපිනයේ පදිංචි එච්.එම්. ප්‍රියන්ත හේරත් යන අයයි.
නීති විරෝධී මත්පැන් බෝතල් 30ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අදාළව මෙම විත්තිකරුට එරෙහිව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති 72680 අංක දරන නඩුවට අදාළ නඩු භාණ්ඩ (සාම්පල) රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීම සම්බන්ධයෙන් ප්‍රියංකරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි වික්‍රමගේ ‘දිවුරා සාක්ෂි ලබා දෙමින් අධිකරණයට පවසා සිටියේ මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අදාළ දිවුරුම් ප්‍රකාශයේ තබා ඇති අත්සන තමා විසින් තබන ලද සත්‍ය අත්සනක් බවයි.
මේ අතර තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩුවකට ද ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි වික්‍රමගේ විසින්ම අත්සන යොදා සකසන ලද තවත් දිවුරුම් ප්‍රකාශයක් කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා සාක්කිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි වික්‍රමගේගෙන් විමසා සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම අධිකරණයේ නඩු දෙකකට අදාළව දී ඇති දිවුරුම් ප්‍රකාශ දෙකෙහි තබා ඇත්තේ එකිනෙකට පරස්පර අත්සන් දෙකක් බවයි.
මෙම අත්සන් දෙකෙහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අදාළ අත්සන් දෙක රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට සිදු වුවහොත් සාක්කිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ රැකියාව අහිමි වීමේ අවදානමක් පවතින බව ද විනිසුරු මල්වත්ත මහතා කියා සිටියේය. විනිසුරුවරයාගේ එම ප්‍රකාශයෙන් නිරුත්තර වූ ප්‍රියංකරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි වික්‍රමගේ අධිකරණයට දැනුම් දුන්නේ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 72680 අංක දරන නඩුවට අදාළව තමා විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයට තබා ඇති අත්සන තමාගේ සත්‍ය අත්සන නොවන බවයි. එම අත්සන ව්‍යාජ අත්සනක් බව පිළිගන්නා බවද සාක්ෂිකාර පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම නඩුවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍රී ලාල් තලගල්ල මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, “සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි වික්‍රමගේ මෙම ගරු අධිකරණයේ සාක්ෂි කූඩුවට නැඟ තමා ගරු අධිකරණයට ප්‍රකාශ කරන්නේ සත්‍ය බවට දිවුරා පොරොන්දු වෙමින් සාක්ෂි ලබා දෙමින් මුල් අවස්ථාවේ කියා සිටියේ මෙම අධිකරණයේ 72680 අංක දරන නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයට තබා ඇත්තේ තමාගේ සත්‍ය අත්සන බවයි.
එහෙත් පසුව අදාළ දිවුරුම් ප්‍රකාශයට තබා ඇති අත්සන ව්‍යාජ එකක් බව සාක්කිකාර පොලිස් පරීක්ෂකවරයා විසින්ම පිළිගෙන ඇති බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥ ශ්‍රී ලාල් තලගල්ල මහතා මෙම ව්‍යාජ අත්සන සහිත දිවුරුම් ප්‍රකාශය හේතුවෙන් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට ගැටලුවක් පවතින බව ද කීවේය.
මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා විවෘත අධිකරණයේදී සඳහන් කළේ 72680 අංක දරන මෙම නඩුවට අදාළව රජයේ රස පරීක්ෂකවරයාට නඩු භාණ්ඩ (සාම්පල) යැවීමට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයට තබා ඇති අත්සන අසත්‍ය එකක් බව සාක්කිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි වික්‍රමගේ විසින්ම පිළිගෙන ඇති බවයි.
අදාළ දිවුරුම් ප්‍රකාශය නඩුවේ හරයට බලපාන බවද මහේස්ත්‍රාත්වරයා කීවේය. එම තත්ත්වය මත මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන ගියද විත්තිකරු වරදකරු කිරීමේ හැකියාවක් අධිකරණයට නොපවතින බවද කියා සිටි මහේස්ත්‍රාත් මල්වත්ත මහතා ඒ අනුව නීති විරෝධී මත්පැන් බෝතල් 30ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කර මුදාහරින ලෙසට තමා නියෝග කරන බවද කීවේය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ ශ්‍රී ලාල් තලගල්ල මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම පොලිසියේ නිලධාරීහු පෙනී සිටියහ. ප්‍රියංකරගම පොලිසියේ වත්මන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි වික්‍රමගේ තඹුත්තේගම පොලිසියේ සේවය කරමින් සිටි වකවානුවේදී මෙම නීති විරෝධී මත්පැන් වැටලීම සිදු කර විත්තිකාර එච්.එම්. ප්‍රියන්ත හේරත්ට එරෙහිව 72680 දරන අංකය යටතේ තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.