විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලබන සිංහල අලුත් අවුරුද්ද වන විට නොපවතින බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (12) ආසන සංවිධායකවරු සමඟ පැවති හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ ද කීය.
විපක්ෂය හිතන් ඉන්නවා විශ්වාසභංග ගෙනත් රට දියුණු කරන්න පුළුවන් කියලා. එය සම්පූර්ණ අසත්‍යයක්. ආසියාවේ සිංගප්පූරුව වැනි දියුණු වුණු රටවල් ගත්තම එකදු විශ්වාස භංගයක්වත් ගෙනත් නැහැ. රට ඉදිරියට යනවා. ජනතාව දැන් කිසිදෙයකට බිය විය යුතු නැහැ. අපේ රට දැන් පාලනය කරන්නේ ලෝකය පිළිගත් නායකයෙක්. ඔහුට උඩින් කතා කරන්න ලෝකයේ වෙනත් කිසිම රාජ්‍ය නායකයෙක් නැහැ කියලා මා එක වරක් ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ සතියේ විදේශගත වෙනවා. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට නියමිතව තිබෙනවා. අද සමහර කණ්ඩායම් විවිධ නාට්‍ය රඟදක්වන්නේ ඒ නිසයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ නාට්‍යවලට බය නැහැ. ඔහුගේ ගේ ගිනි තිබ්බා. නමුත් ඔහු ඒ ගේ දිහා හැරිලවත් බැලුවේ නැහැ. එහෙම නායකයෙක් අද අපට ඉන්නවා.
අද විපක්ෂය වැරදි ගමනක් යමින් තිබෙනවා. අප සියලුදෙනාම එකතු විය යුතු බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා. අපේ රටට අනාගතයක් අවශ්‍යයි නම් අප එකතු වී ජාතික ප්‍රතිපත්තියක් ගොඩනඟාගත යුතුයි.
ශ්‍රී ලාංකික මහජනතාව වශයෙන් අප ඉතාමත් කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ වැටුණු රට ගොඩගන්නයි. ඒ වෙනුවෙන් අප සියලුදෙනාම කැප විය යුතුයි. ජාතිය බෙදුනොත් අප වැනසෙයි. එකමුතු වුණොත් දිනයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සෑමවිටම ක්‍රියා කළේ ජනතාවගේ යහපත උදෙසායි. ඔහු මෑත කාලයේදී ඔබේ ආරක්ෂාව වෙනුවෙන් නව පනත් කිහිපයක්ම පාර්ලිමේන්තුව තුළ සම්මත කළා. ඉන් පාර්ලිමේන්තුව තුළ අය-වැය කාර්යාලයක් පිහිටුවීම විශේෂයයි.
අද අපේ රටට වෙනසක් අවශ්‍ය කර තිබෙනවා. පහුගිය දිනවල සමාජය තුළින් එළියට ආවේත් අපේ රටට වෙනසක් අවශ්‍යයයි කියලයි. ඒ වෙනස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වන විට කරමින් සිටිනවා. ඒ වෙනස අපේ රටේ දේශපාලනය තුළත් ඇති කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ පැරණි දේශපාලන ක්‍රමවේදයෙන් තවදුරටත් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ කියලයි. මේ කියන අලුත් ගමන මොකද්ද? මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න තමයි එක්සත් ජාතික පක්ෂය සෑම විටම උත්සාහ කළේ.