Monday, April 21, 2025
Home » අත්තිඩිය වනජීවියේ කළු වඳුරන් උස්සලා

අත්තිඩිය වනජීවියේ කළු වඳුරන් උස්සලා

by mahesh
September 13, 2023 1:00 am 0 comment

දෙහිවල - ඩී. පී. හේරත්, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

බෙල්ලන්විල අත්තිඩිය වනජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ලංකාවට ආවේණික කළු වඳුරු පැටවුන් හතර දෙ‍ෙනකු සොරුන් විසින් සොරාගෙන ගොස් තිබේ.

ලෝකයේ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව රතු දත්ත පොතේ මුල් සත්ත්ව විශේෂ 25ට ඇතුළත් මෙම කළු වඳුරන්, ලංකාවේ බස්නාහිර පළාතට ආවේණික කොළඹ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පමණක් දක්නට ලැබෙන මෙම උප වඳුරු විශේෂයක් වේ. ආරක්ෂිත සත්ත්වයකු ලෙස නම් කර ඇති කළු වඳුරා 1993 අංක 49 දරන වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව නිවෙස්වල ඇතිකිරීම පවා සපුරා තහනම් කර ඇත. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගල්කිස්ස පොලිසියට ලැබී ඇති අතර, එම මධ්‍යස්ථානයේ වනජීවී අඩවි සහකාර මාධව මිහිර කුඹුකගේ මහතා පැමිණිල්ල කර ඇත. ඉකුත් නව වැනි දින රාත්‍රීයත් සෙනසුරාදා අලුයම 03.30ත් අතර කාලයේදී මෙම සොරකම සිදු කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

වඳුරු පැටවු සොරකම සඳහා පුද්ගලයන් දෙදෙනකු වඳුරන් තබා තිබෙන කුටිය තුළට පැමිණ සිටින අන්දම එහි සවිකර තිබූ සීසීටීවී කැමරාවල දක්නට ලැබෙන අතර ඔවුන් මෝටර් රථයකින් පැමිණි බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වනජීවි හදිසි ඇමතුම් අංකය 1992ට හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානය 011-3604147ට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමරසේකර, පොලිස් සැරයන් (50830) රෝහණ, (92576) විජේසූරිය, (93708) හේමාල්, (94952) බණ්ඩාර මහත්වරු පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT