Home » දුම්රිය වෘත්තීය සමිති ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර
වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

දුම්රිය වෘත්තීය සමිති ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර

ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනපතිගෙන් ඇමැතිට උපදෙස්

by mahesh
September 13, 2023 1:00 am 0 comment

නුවන් කොඩිකාර, රක්ෂණ ශ්‍රියන්ත

– වර්ජකයන් 84දෙනාම සිසුවාගේ මරණයට වගකිව යුතුයි
– අද සාකච්ඡාවට කැඳවා තිබියදී වර්ජනය කිරීම අසාධාරණයි
– දුම්රිය සහ මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව සහ පොලිසිය කැඳවයි

දුම්රිය වෘත්තිය සමිති ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (12) පැවසීය.

දුම්රිය රියැදුරන්ගේ උසස් වීම් පටිපාටිය හා වැටුප් ගැටලු සම්බන්ධයෙන් අද (13) දිනයේ සාකච්ඡාවක් කැඳවා තිබියදී සහ ඒ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටියදී මෙම අත්තනෝමතික වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

දුම්රිය සේවය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ඊයේ සවස නිකුත් කරන ලදි. එමෙන්ම දුම්රිය සහ මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ යුද හමුදාව ද ඊයේ (12) සිට යොදවා තිබේ.

මහජනතාව පීඩාවට පත් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට උපදෙස් දුන් බවද මෙම මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන ගැසට් නිවේදනය නිකුත් වීමත් සමඟ අද (13) සිට ජනතාව මුහුණදෙන අපහසුතා මඟහැරී යන බව ද හෙතෙම කීවේය.

ගැටලුවලට විසඳුම් ලබාදීමට අද (13) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණ ද වෘත්තිය සමති මඟින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රියෙන් ඇදවැටී සිසුවකු මිය ගොස් තිබෙනවා. තවත් මගියෙක් දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මේ මරණයට වර්ජනයේ නියැළුණු 84 දෙනාම වගඋත්තරකරුවන් වෙනවා. මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනාට දඬුවම් දීමට පියවර ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද ඇමැතිවරයා කීවේය.

දුම්රියෙන් ඇදවැටී සිසුවකු මිය යෑම ගැන මෙම මාධ්‍ය හමුවේදී ශෝකය පළ කෙරුණු අතර ඇමැතිවරයා එහිදී මෙසේ ද කීවේය.

මේ දුම්රිය වෘත්තීය සමිතිවල ත්‍රස්තවාදයට යටත් වීමට රජය කිසිසේත් සූදානම් නැහැ. සාමාන්‍යාධිකාරි හෝ උසස් නිලධාරීන් මේ සඳහා වගකිව යුතු නැහැ. මින් පෙර දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකදී මෙවැනි මරණයක් වාර්තා වෙලා නැහැ. ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැන්නක් වාර්තා වෙන්නේ. ඒ වගේම වෘත්තීය ක්‍රියාමාර්ගයක් අතරතුර දුම්රියෙන් ඇද වැටීමක් වාර්තා වෙලා නෑ.

2021 වසර වන විට දුම්රියේ සමස්ත ආදායම තිබුණේ රුපියල් බිලියන 2.6යි. බිලියන 2.3ක් අතිකාල දීමනා වෙනවා. වැටුප් සඳහා බිලියන 7ක් විතර ගෙවන්න තිබුණා. සෑම වසරක දුම්රිය බිලියන 10ක අලාභයකට තමයි පවත්වාගෙන ඇවිත් තිබෙන්නේ. වෘත්තීය සමිතිවල ඇතැම් නායකයන් විවිධ අරමුණු සඳහා මගී ජනතාව අපහසුතාවට පත්වෙන ලෙස හිටි ගමන් කිසිදු දැනුම් දීමකින් තොරව දුම්රිය ධාවනය නවත්වන්න කටයුතු කරනවා. ඈත ගම්වල සිට කොළඹට රාජකාරිවලට පැමිණෙන ජනතාව ඉන් දැඩි අපහසුතාවට පත් වෙනවා. මෙවැනි අවස්ථාවලදී ජනතාව කුපිත වෙලා දුම්රිය ස්ථානවලට පහර දීම් පවා සිදු වෙනවා. මම දුම්රිය භාර ගන්න කොට හැමදාම කිව්වේ මෙය කවදාවත් හදන්න බැහැ පුද්ගලීකරණය කරන්න ඕනෑ කියලා. සංචාරකයන් ආසන වෙන් කරගෙන දුම්රිය ගමන් යොදාගෙන තිබෙනවා. නල්ලූර් කෝවිලේ විශේෂ උත්සවයට සහභාගි වෙන්න දුම්රියක් සූදානම් කළා.

ඒ නිසා මම වෘත්තීය සමිති නායකයන්ට කතා කරලා, වැඳලා කිව්වා ප්‍රශ්නයක් සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන් ඒ නිසා වර්ජන කරන්න එපා කියලා. ප්‍රථමයෙන් ප්‍රශ්නයක් ඇති වුණොත් සාමාන්‍යාධිකාරිවරයා සමඟ සාකච්ඡා කරන්න. එහෙම විසඳගන්න බැරි ප්‍රශ්නයක් නම් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන්න. එහෙමත් බැරි නම් ඇමැතිවරයා ලෙස මාත් එක්ක සාකච්ඡා කරන්න කියලා. මම සෑම වෘත්තීය සමිති සමඟම සතියකට දෙකකට වරක් සාකච්ඡා කරමින් කැබිනට් පත්‍රිකා දමමින් ප්‍රශ්න විසඳා දුන්නා.

දෙපාර්තමේන්තුවක් වශයෙන් ඇතැම් ප්‍රශ්න විසඳගන්න බැරි නිසා අධිකාරියක් බවට පත් කරලා විසඳගන්න කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. කැබිනට් මණ්ඩලය තීරණය කළා විශේෂඥ උපදෙස් අරගෙන වෙනස් කිරීම් කරමු කියලා. මීට පෙර තිබුණු කැබිනට් අනුකාරක සභාවට කිව්වා දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරන්ගේ තිබෙන ගැටලුව ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ අනුව අද හවස 4.00 ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. සාකච්ඡාව ලබා දුන්නේ සති දෙකකට කලින්. එසේ තිබියදී නිර්ලජ්ජ, කුහක ලෙස කුමන හෝ දේශපාලන හෝ වෙනත් බලපෑමක් මත 18,000ක් – 20,000ක් පමණ වන සේවක සංඛ්‍යාවෙන් රියැදුරන් 84 දෙනකු පමණක් වැඩවර්ජනය කරනවා.

දුම්රිය ධාවනය කරලා නැහැ. දුම්රිය ගමන් වාර 30ක් 40ක් අවලංගු වුණා. බලවේග කට්ටල් තිබෙන දුම්රිය නතර කළාම දුර ගමන් එහෙම්පිටින්ම කඩාකප්පල් වෙනවා. කෙසේ හෝ අවශ්‍යතාවට යන්න ඕන ශිෂ්‍යයකු දුම්රිය වහල මත ගිහින් පාලමක හිස වැදිලා මැරිලා තිබෙන්නේ. මේ මරණය පිළිබඳ අතිශයෙන් කනගාටු වෙනවා. යුක්තිය පසිඳලන කුමන හෝ ආයතන තිබෙනවා නම් මේ ගැන සෙවිය යුතුයි. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මට ලිඛිතව ලබා දීලා තිබෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවක් වශයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් තමන්ගේ රාජකාරි නිසි ලෙස ඉටු කර විසඳා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ යොද තිබියදී මෙවැනි අනීතික වැඩවර්ජනයක් කරලා මනුෂ්‍ය ජීවිත නැති කරන්න හදනව නම් එය මිනීමැරුමක් යැයි ද කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT